ලෝක යුද්ධයක අවදානමක් මතු කරමින් පැවති ඉරාන-ඇමරිකානු ගැටුමට තාවකාලික විසඳුමක් ලෙස සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට දෙපාර්ශවයම එකඟ වී තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනයට ඉඩ ලබා දෙන්නේ නම්, මෙම සටන් විරාමයට තමන් එකඟ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසා ඇත්තේ, ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් තම රට ද සටන් විරාමයට සූදානම් බවයි. මෙම තීරණයට ඊශ්‍රායලයේ සහාය ද හිමිව ඇති නමුත්, මෙම සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව ඊශ්‍රායලය අවධාරණය කරයි.
“මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වනු ඇත” – ට්‍රම්ප්ගේ දැඩි අනතුරු ඇඟවීම මෙම එකඟතාවයට පෙර ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩි කාලසීමාවක් පනවා තිබූ අතර, නියමිත වේලාවට එකඟතාවයකට නොපැමිණියේ නම් “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇති” බවට ඔහු අනතුරු අඟවා තිබුණි. මෙම අර්බුදයේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පකිස්ථානය, සති දෙකක කාලයකට මෙම තීරණය කල් දමන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි අතර ලබන සිකුරාදා ඉස්ලාමාබාද් නුවරදී සාකච්ඡා සඳහා දෙපාර්ශවයටම ඇරයුම් කර තිබේ.
මෙම සටන් විරාම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී ඇති අතර, දැනට පවතින මිල වාර්තා වන්නේ බැරලයක් ඇමරිකානු ඩොලර් 100 ට වඩා අඩු මට්ටමකය. කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා ඇමරිකාව සහ ඉරානය අතර පවතින විශ්වාසය බිඳවැටීම හේතුවෙන් ඉදිරි සාකච්ඡා අතිශය දුෂ්කර වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



