ඉරානයට එල්ල කරන ප්‍රහාර සඳහා සම්බන්ධ වන කිසිදු ඇමරිකානු ගුවන් යානයකට ස්පාඤ්ඤ ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර නොදෙන බව ස්පාඤ්ඤ රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරීටා රොබල්ස් (Margarita Robles) අවධාරණය කර ඇත්තේ, ස්පාඤ්ඤයේ පිහිටි ‘මොරෝන්’ (Morón) සහ ‘රෝටා’ (Rota) ඒකාබද්ධ හමුදා කඳවුරු ඉරාන යුද්ධයට අදාළ කිසිදු ක්‍රියාවක් සඳහා භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.
මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝසේ මැනුවෙල් ඇල්බරෙස් ප්‍රකාශ කළේ, යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීමට දායක වන කිසිදු පියවරක් තම රජය නොගන්නා බවයි.
කෙසේ වෙතත්, ධවල මන්දිර නිලධාරියෙකු පවසා ඇත්තේ, ඇමරිකාව ක්‍රියාත්මක කරන ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම ඉතා සාර්ථකව ඉදිරියට යන බවත්, ඒ සඳහා ස්පාඤ්ඤයේ හෝ වෙනත් කිසිදු පාර්ශවයක සහාය තමන්ට අවශ්‍ය නොවන බවත්ය. මීට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණේ ස්පාඤ්ඤය මෙම යුද්ධයට විරුද්ධ වුවහොත් එරටට එරෙහිව පූර්ණ වෙළඳ සම්බාධක පනවන බවයි.
ස්පාඤ්ඤයේ මෙම තීරණය නිසා බ්‍රිතාන්‍යයේ ‘ෆෙයාර්ෆෝර්ඩ්’ (RAF Fairford) කඳවුරේ සිට ඉරානය බලා පියාසර කරන ඇමරිකානු බෝම්බ හෙලන යානාවලට දැන් ස්පාඤ්ඤය මඟහැර ප්‍රංශය හරහා හෝ අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කිරීමට සිදුව ඇත. හදිසි අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක ඇමරිකානු යුද යානාවලට ස්පාඤ්ඤයට ඇතුළු විය නොහැකි බව එරට ‘එල් පායිස්’ (El País) පුවත්පත වාර්තා කරයි.
මේ අතර ඉරානය ප්‍රකාශ කර ඇත්තේ ස්පාඤ්ඤය ජාත්‍යන්තර නීතියට ගරු කරන බැවින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ස්පාඤ්ඤ නෞකාවලට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට තමන් සූදානම් බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



