පැනමාවේ සිට පැමිණි නෞකාවකින් ඇමරිකානු ඩොලර් මිලියන 132ක් වටිනා කොකේන් තොගයක් එක්සත් රාජධානියේ දේශසීමා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අගනුවර ආසන්නයේ පිහිටි ලන්ඩන් ගේට්වේ (London Gateway) වරායෙන් අත්අඩංගුවට ගත් මෙට්‍රික් ටොන් 2.4ක මෙම මත්ද්‍රව්‍ය තොගය, “එහි විශාලතම වැටලීම්වලින් එකක්” බව දේශසීමා බලකායේ සමුද්‍ර අධ්‍යක්ෂ චාලි ඊස්ටෝ (Charlie Eastaugh) පැවසීය. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය (UK’s Home Office) තහවුරු කළේ, පැනමාවේ සිට පැමිණි නෞකාවක බහාලුම් යට තිබී සොයාගත් මෙම තොගය, මෙතෙක් වාර්තා වූ හයවන විශාලතම කොකේන් අත්අඩංගුවට ගැනීම බවයි.
කොකේන් වෙළෙඳාම 2023 වසරේදී ශක්තිමත්ව වර්ධනය වූ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය (UNODC) ප්‍රකාශ කළේය. ලොව පුරා, කොකේන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ද දිගින් දිගටම වර්ධනය වූ අතර, වසර 10කට පෙර මිලියන 17ක්ව පැවති එය, 2023 දී මිලියන 25ක් දක්වා ඉහළ ගොස් ඇති බව UNODC පැවසීය.
ජාතික අපරාධ ඒජන්සියට (National Crime Agency) අනුව, එක්සත් රාජධානිය යුරෝපයේ විශාලතම කොකේන් වෙළෙඳපොළවල්වලින් එකකි. එක්සත් රාජධානියේ රජය පවසන්නේ, 2022 සහ 2023 අතර එංගලන්තයේ සහ වේල්සයේ කොකේන් ආශ්‍රිත මරණ 31% කින් ඉහළ ගොස් ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



