තරබාරුකම දැන් යෞවනයන් අතර ප්‍රධාන පෝෂණ ඌණතාවය බවට පත්ව ඇත: යුනිසෙෆ්

යෞවන දරුවන් අතර තරබාරුකම, මන්දපෝෂණය අභිබවා, ලොව පුරා පවතින ප්‍රධානතම පෝෂණ ඌණතාවය බවට පළමු වරට පත්ව ඇති බව යුනිසෙෆ් (UNICEF) සංවිධානය පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ, වයස අවුරුදු පහේ සිට 19 දක්වා වූ දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. මෙම තත්ත්වයට හේතුව, ළමා මන්දපෝෂණය සමඟ තවමත් පොරබදමින් සිටින රටවල පවා අධික ලෙස සැකසූ ආහාර පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව සහ ඒවායේ දැඩි අලෙවිකරණයයි.

ලෝක කුසගින්න අඩු කිරීමේ සටන ඇතැම් ක්ෂේත්‍රවල සාර්ථක වී තිබේ. රටවල් 190කින් රැස් කරන ලද දත්ත වලට අනුව, 2000 සහ 2022 අතර කාලය තුළ වයස අවුරුදු පහේ සිට 19 දක්වා වූ අය අතර බර අඩු යෞවනයන්ගේ සංඛ්‍යාව 13% සිට 10% දක්වා පහත වැටී ඇත.

නමුත් එම කාලය තුළ, එම වයස් සීමාවේම අධික බර සහිත යෞවනයන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී මිලියන 194 සිට මිලියන 391 දක්වා ඉහළ ගොස් තිබේ. දියවැඩියාව, ඇතැම් පිළිකා, කාංසාව සහ මානසික අවපීඩනය වැනි පරිවෘත්තීය ආබාධ සමඟ සම්බන්ධ, තරබාරුකම ලෙස හැඳින්වෙන අධික බරෙහි බරපතලම ආකාරයෙහි මෙම ඉහළ යාම වඩාත් පැහැදිලිය.

2022 දී, ලොව පුරා සිටින යෞවනයන්ගෙන් 8%ක්, එනම් මිලියන 163ක් තරබාරු වූ අතර, 2000 දී එය 3%ක් විය. මෙම පැහැදිලි ප්‍රවණතා අනුව, යෞවනයන් අතර තරබාරුකමේ ගෝලීය ව්‍යාප්තිය 9.4%ක් ලෙසත්, බර අඩු අයගේ ව්‍යාප්තිය 9.2%ක් ලෙසත් වාර්තා කරමින්, මෙම වසරේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකට ළඟා වී ඇති බව යුනිසෙෆ් වාර්තා කරයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top