ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලැබූ විරෝධතා සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ වූ අතර, ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එක් ඉන්දීය ජාතිකයෙකු ද ඇතුළුව පුද්ගලයන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 2,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියා-නේපාල දේශසීමාව තාවකාලිකව වසා දැමීමට සිදුවූ අතර, එය දේශසීමා වෙළෙඳාමට බාධා ඇති කළේය.
බිහාර් ප්‍රාන්තයේ රක්සෝල් සහ අනෙකුත් දේශසීමා නගරවල වෙළෙඳුන් පවසන්නේ, නේපාලයේ විශාලතම උත්සවය වන දෂයින් උත්සව සමය ළඟා වෙමින් තිබියදී පවා ඔවුන්ගේ වෙළෙඳාම තියුණු ලෙස පහත වැටී ඇති බවයි. බොහෝ නේපාල ජාතික පාරිභෝගිකයන් දැන් ඇඳුම් සහ ආගමික භාණ්ඩ වැනි උත්සව සමයට අදාළ දේවල් වෙනුවට දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමට පෙළඹී ඇත. උත්සව සමය සඳහා භාණ්ඩ ගබඩා කරගත් ව්‍යාපාරිකයන්, තම ආයෝජන විකිණීමට නොහැකි භාණ්ඩ ලෙස සිරවී තිබීම නිසා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති.
නේපාලය තම විශාලතම වෙළෙඳ හවුල්කරු වන ඉන්දියාව මත දැඩි ලෙස රඳා පවතින අතර, 2024-25 වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් දක්වා ළඟා වී තිබුණි. නමුත් මෙම නොසන්සුන්තාව පාරිභෝගික විශ්වාසය බිඳ දමා ඇති අතර දේශසීමා වෙළෙඳාම මන්දගාමී කර ඇත.
නේපාලයේ තවත් ප්‍රධාන කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තයට ද දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. හෝටල්වලට සිදු වූ හානි පිළිබඳව ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීම පිළිබඳව පළ වූ වාර්තා නිසා සංචාරකයන් බියට පත්ව ඇති අතර, සංචාර විශාල වශයෙන් අවලංගු වී ඇත. ඉන්දීය සංචාරක නියෝජිතයන් පවසන්නේ, මෙම තත්ත්වය බෞද්ධ වන්දනා සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම අහිතකර ලෙස බලපානු ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



