විෂ සහිත මධ්‍යසාර පානවලින් ඇති විය හැකි මෙතනෝල් විෂවීමේ (methanol poisoning) අවදානම් පිළිබඳව අනතුරු අඟවන එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ (UK Foreign Office) ලැයිස්තුවට රටවල් අටක් අලුතින් එක් කර තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එම රටවලදී සිදුවූ සිදුවීම් හේතුවෙන් යාවත්කාලීන කරන ලද මෙම සංචාරක මාර්ගෝපදේශයට ඉක්වදෝරය (Ecuador), ජපානය (Japan), කෙන්යාව (Kenya), මෙක්සිකෝව (Mexico), නයිජීරියාව (Nigeria), පේරු (Peru), රුසියාව (Russia), උගන්ඩාව (Uganda) යන රටවල් අට ඇතුළත් කර ඇත.
මෙම උපදේශය මීට පෙර තායිලන්තය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, ඉන්දුනීසියාව, තුර්කිය, කොස්ටා රිකාව සහ ෆීජි යන රටවල් ආවරණය කළ අතර, පසුගිය වසරේ ලාඕසයේදී සංචාරකයින් හය දෙනෙකුගේ මරණය ඇතුළු ඉහළ අවධානයට ලක් වූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මෙම ලැයිස්තුව පුළුල් කර ඇත.
මෙතනෝල් යනු කාර්මික රසායනිකයක් වන අතර එය ශීතකරණ දියර (antifreeze) සහ වින්ඩ්ෂීල්ඩ් වොෂර් දියරවල (windscreen washer fluid) දක්නට ලැබේ. එය මිනිස් පරිභෝජනයට නුසුදුසු වන අතර දැඩි විෂ සහිත වේ.
අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන පාර්ශ්වයන් විසින් පානවල වැඩිපුර මාත්‍රාවක් පෙන්වීමට මෙන්ම පිරිවැය අඩු කර ගැනීම සඳහා බාර් සහ වීදි වෙළෙන්දන් විසින් ස්ප්‍රීතු මත පදනම් වූ පාන වර්ග සහ කොක්ටේල් සමඟ මෙතනෝල් මිශ්‍ර කරන අවස්ථා තිබේ. මෙතනෝල් රසයෙන් හා ගන්ධයෙන් හඳුනාගත නොහැකි විෂ ද්‍රව්‍යයකි. කුඩා ප්‍රමාණයක් පවා පානය කිරීමෙන් විෂවී යාම සිදුවිය හැකියි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



