මොළය ජීවිතයේ සුවිශේෂී අවධීන් පහක් හරහා ගමන් කරන බවත්, වයස අවුරුදු නවය, 32, 66 සහ 83 යන වයස්වලදී ප්‍රධාන සන්ධිස්ථාන ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් වයස අවුරුදු 90 දක්වා වූ පුද්ගලයන් 4,000 ක් පමණ යොදාගෙන මොළයේ සෛල අතර සම්බන්ධතා හෙළිදරව් කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණ සිදු කර ඇත. මොළය 30 දශකයේ මුල් භාගය දක්වා නව යොවුන් වියේ (adolescent phase) පවතින අතර, එහිදී උච්චතම අවස්ථාවට පැමිණෙන බව මෙම පර්යේෂණයෙන් පෙන්වා දෙයි.
පර්යේෂණයට අනුව, මොළයේ නැවත සකස් කිරීම් (rewiring) හරහා සිදුවන ප්‍රධාන අවධීන් පහ අනුව, ළමා කාලය (Childhood) – උපතේ සිට වයස අවුරුදු 9 දක්වා, නව යොවුන් විය (Adolescence) – වයස අවුරුදු 9 සිට 32 දක්වා, පරිණත විය (Adulthood) – වයස අවුරුදු 32 සිට 66 දක්වා, මුල් වයස්ගත වීම (Early ageing) – වයස අවුරුදු 66 සිට 83 දක්වා, ප්‍රමාද වයස්ගත වීම (Late ageing) – වයස අවුරුදු 83 සිට ඉදිරියට වේ.
මෙම ප්‍රතිඵල මගින් ජීවිත කාලය පුරාම මානසික සෞඛ්‍ය ආබාධ සහ ඩිමෙන්ශියා අවදානම වෙනස් වන්නේ මන්දැයි අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මොළය නව දැනුම හා අත්දැකීම් වලට ප්‍රතිචාර වශයෙන් නිරන්තරයෙන් වෙනස් වන නමුත්, මෙම පර්යේෂණය පෙන්වා දෙන්නේ එය උපතේ සිට මරණය දක්වා එකම සුමට රටාවක් නොවන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



