ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් හමුවේ.

ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් හමුවේ.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල හමුදාව විසින් අද දින(01) සොයාගෙන තිබේ. රෆා ප්‍රදේශයේ භූගත උමං මාර්ගයක තිබී මෙම මළ සිරුරු සොයාගෙන තිබේ. ප්‍රාණ ඇපකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ Carmel Gat, Eden Yerushalmi, Hersh Goldberg-Polin, Alexander Lobanov, Almog Sarusi සහ Master Sgt Ori Danino යන අයයි. ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට මොහොතකට පෙර හමාස් සංවිධානය විසින් ඔවුන් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විශ්වාස කරයි.

හමාස් සංවිධානය මෙම ඝාතනයන්හි වගකීම ප්‍රතික්ෂේප කරන අතර,
සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම නිසා ඊශ්‍රායලය විසින් මෙම මරණයන් සිදු කර ඇති බව ප්‍රකාශ කර සිටී. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු , මම ඝාතනයන්ට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවට සපථ කළ අතර ඉතිරි අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාමය ගනුදෙනුවක වැදගත්කම අවධාරණය කළේය.

ප්‍රාණ ඇපකරුවන්ගේ සමීපතමයන් විසින් ඊශ්‍රායක් රජයට දොස් පවරා ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ගනුදෙනුවකට එළඹීමට ප්‍රමාද වීම රජයේ වරදක් ලෙස ඔවුන් පෙන්වා දේ. තවද , ප්‍රාණ ඇපකරුවන් මාස 11කට ආසන්න කාලයක් අපයෝජනයට ලක් ව ඇති බව මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරයි. ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුවක් ඉල්ලා විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබුණ අවධියක, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නෙතන්යාහුගේ රජය අපොහොසත් වූයේ
දේශපාලන සන්ධානයන් පවත්වා ගැනීමට උත්සාහ කිරීම නිසා
බවට ඊශ්‍රායල විපක්ෂ නායක යායර් ලපිඩ් චෝදනා කරයි.

ඇමරිකානු පුරවැසියෙකු වූ හර්ෂ් ගෝල්ඩ්බර්ග්-පොලින්ගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කෝපය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයේ වෙසෙන වයස අවුරුදු 10ට අඩු දරුවන්ට පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සටනේ තාවකාලික විරාමයක් ද ලබාගෙන ඇත.

මෙම සටන් විරාමය අතරතුර, හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 97 දෙනා නිදහස් කර ගැනීමට මැදිහත්කරුවන් මේ වනවිට කටයුතු කරමින් සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

https://www.bbc.com/news/articles/ce31ddege9vo

Scroll to Top