එලොන් මස්ක් (Elon Musk) 2022 දී ට්විටර් සමාගම සම්පූර්ණයෙන් මිලදී ගැනීමට පෙර එහි කොටස් හිමිකම ගොඩනඟා ගැනීමේදී තොරතුරු හෙළි කිරීමේ නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඇමෙරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් ගොනු කරන ලද නඩුව ඉවතලන ලෙස ඇමෙරිකානු අධිකරණයකින් ඉල්ලා තිබේ.
ට්විටර් හි ඔහුගේ කොටස් හිමිකම 5% ඉක්මවා ඇති බවට නියමිත දින 10ක කාලසීමාව තුළ හෙළි කිරීමට මස්ක් අපොහොසත් වූ බව SEC චෝදනා කරයි. එමගින් ඔහුට කෘත්‍රිමව අඩු මිල ගණන් යටතේ කොටස් මිලදී ගැනීමට හැකි වූ බවත්, ඩොලර් මිලියන 150ක් පමණ ඉතිරි කර ගත් බවත් නියාමන ආයතනය පවසයි. SEC පවසන පරිදි, මස්ක් විසින් 2022 මාර්තු 14 වන විට සිය කොටස් හිමිකම හෙළි කළ යුතුව තිබූ නමුත්, ඔහු එසේ කර ඇත්තේ දින 21ක් පමා වී අප්‍රේල් 4 වැනිදාය.
මස්ක්ගේ නීතිඥයින් තර්ක කරන්නේ මෙම නඩුව පදනම් විරහිත බවත්, එය “අධිකරණයේ කාලය හා බදු ගෙවන්නන්ගේ සම්පත් නාස්තියක්” බවත්ය. ප්‍රමාදය සොයාගත් පසු මස්ක් විසින් අදාළ වාර්තා නිවැරදි කළ බව ඔවුන් අවධාරණය කරන අතර, කිසිදු අඛණ්ඩ උල්ලංඝනයක්, අභිප්රායක් හෝ හානියක් සිදු නොවූ බවටද අවධාරණය කරයි. මෙම නඩුව ඉදිරියට ගෙන යා යුතුද නැතහොත් ඉවත දැමිය යුතුද යන්න දැන් අධිකරණය විසින් තීරණය කරනු ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



