හොංකොං හි තායි පෝ (Tai Po) දිස්ත්‍රික්කයේ පොදු නිවාස සංකීර්ණයක ඇති වූ මහා ගින්නකින් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 55 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 279 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිති. මෙය හොංකොං ඉතිහාසයේ වසර 60 කට වැඩි කාලයක් තුළ ඇති වූ විනාශකාරීම ගින්න ලෙස හඳුන්වා ඇත. හොංකොං හි මීට පෙර දරුණුතම ගින්න වාර්තා වූයේ 1962 අගෝස්තු මාසයේදීය. එවකට ෂම් ෂුයි පෝ (Sham Shui Po) අසල්වැසි ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් තිබුණි.
විශාල පිරිසක් අතුරුදන්ව සිටින බැවින් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත. ගින්න පැය 18 කට වැඩි කාලයක් පුරා ඇවිලෙමින් පවතින අතර, ගිනි නිවීමේ භටයින් 800 කට අධික සංඛ්‍යාවක් Wang Fuk Court හි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී.
ගින්න ආරම්භ වී ඇත්තේ ගොඩනැගිල්ලක් පිටත සවි කර තිබූ උණ බට වේදිකාවක (bamboo scaffolding) බව විශ්වාස කෙරේ. එය පසුව අලුත්වැඩියා කටයුතු සඳහා භාවිතා කරන ලද කොළ පැහැති දැලක් දක්වා ව්‍යාප්ත වී ඇත.
මෙම ගින්න හොංකොං හි ඇති විය හැකි බරපතලම මට්ටම වන පස්වන මට්ටමේ ගින්නක් (level five blaze) ලෙස වර්ගීකරණය කර ඇත. ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කළේ, රාත්‍රී කාලයේ සිදු කළ ගලවාගැනීමේ මෙහෙයුමකදී දරුවෙකු සහ වැඩිහිටි කාන්තාවක් බේරා ගැනීමට හැකි වූ බවයි.
ගින්න වේගයෙන් පැතිරවීමට ඉඩ ඇති දැවෙනසුළු ද්‍රව්‍ය (දැල් සහ ප්ලාස්ටික් තහඩු ඇතුළුව) සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන චෝදනා මත ඉදිකිරීම් සමාගම් විධායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.


