Mounjaro හෝ Wegovy වැනි බර අඩු කරන එන්නත් භාවිතය නතර කළ පසු, සාමාන්‍ය ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කරගත් පුද්ගලයින්ට වඩා සිව්ගුණයකින් වේගයෙන් නැවත බර වැඩිවීමේ අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ (British Medical Journal – BMJ) පළ වූ මෙම වාර්තාවට අනුව, එන්නත් භාවිත කරන කාලය තුළ පුද්ගලයින් තම ශරීර බරෙන් පහෙන් එකක් (1/5) පමණ අඩු කර ගන්නා නමුත්, එන්නත නතර කළ සැණින් ඔවුන්ගේ බර නැවත වේගයෙන් වැඩි වීමට පටන් ගනී. එන්නත් නතර කළ අය සාමාන්‍යයෙන් මසකට කිලෝග්‍රෑම් 0.8ක් පමණ බර වැඩි කර ගන්නා අතර, වසර එකහමාරක් (මාස 18ක්) වැනි කෙටි කාලයක් තුළ ඔවුන් නැවත තම මුල් බරටම පැමිණේ. සාමාන්‍ය ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කරගත් අයගේ බර නැවත වැඩි වන්නේ මසකට කිලෝග්‍රෑම් 0.1ක් වැනි ඉතා මන්දගාමී වේගයකිනි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ආචාර්ය සුසෑන් ජෙබ් (Dr. Susan Jebb) පවසන්නේ මෙම එන්නත් මිලදී ගන්නා පුද්ගලයින් ප්‍රතිකාර අවසන් වූ පසු ඇති විය හැකි මෙම වේගවත් බර වැඩිවීමේ අවදානම පිළිබඳව දැඩි ලෙස දැනුවත් විය යුතු බවයි. පර්යේෂකයන් පවසන පරිදි එන්නත් මගින් මොළයට ලබාදෙන බඩ පිරී ඇති බවට වන සංඥාව එන්නත නතර කළ සැණින් අතුරුදන් වන බැවින්, පුද්ගලයින් නැවත අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම මීට හේතුවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



