South Pars ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායල් අගමැති භාරගනී

ඉරානය සතු ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධියක් වන ‘දකුණු පාර්ස්’ (South Pars) නිධියට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිල වශයෙන් බාරගෙන තිබේ. ඔහු අවධාරණය කළේ මෙම ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය “තනිවම ක්‍රියා කළ” (Acted alone) බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධයට ඇදගෙන නොමැති බවත්ය.

ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් යෙරුසලම නගරය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. මුස්ලිම් බැතිමතුන් ‘ඊදුල් ෆිතර්’ (Eid al-Fitr) උත්සවයේ පළමු රාත්‍රිය සමරමින් සිටියදී යෙරුසලම පුරා අනතුරු ඇඟවීමේ සිරෙන් නාද වූ අතර, අහසේ ප්‍රබල පිපිරුම් හඬවල් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළේ, ඔවුන් විසින් මිසයිල රවුම් හතරක් ඉතා කෙටි කාලයක් තුළ ඊශ්‍රායලය වෙත මුදාහැරි බවයි.

මෙම ගැටුම කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, සෞදි අරාබිය සහ බහරේනය යන රටවල් දෙකම පවසා ඇත්තේ තම ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව හඳුනාගෙන විනාශ කළ බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා මීට පෙර අනතුරු අඟවා තිබුණේ, තම රටේ යටිතල පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල වුවහොත්, ඉරානය “කිසිදු සීමාවකින් තොරව” (Zero restraint) දැඩිව ප්‍රතිචාර දක්වන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top