ඉරානය සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළට

ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා පැවැත්වෙන බවට පළ වූ වාර්තා ටෙහෙරානය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, දෙරට අතර යුදමය තත්ත්වය සමනය වීමේ බලාපොරොත්තු හීන වී ගොස් ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

 ජාත්‍යන්තර තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක (Brent Crude) මිල බ්‍රහස්පතින්දා දිනයේදී සියයට 2 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 104 සීමාව ඉක්මවා ගියේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය අවසන් කිරීම සඳහා කරුණු 15 කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට බදාදා පළ වූ වාර්තා නිසා තෙල් මිල තරමක් පහත වැටී තිබුණි.

බ්‍රහස්පතින්දා ආසියානු කොටස් වෙළඳපොළවල් පහත වැටීමකින් ආරම්භ විය. ජපානයේ Nikkei 225, දකුණු කොරියාවේ KOSPI සහ හොංකොංහි Hang Seng දර්ශක සියල්ලම පාඩු ලබා ඇත.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) බදාදා ප්‍රකාශ කළේ ටෙහෙරානය වොෂින්ටනය සමඟ සෘජු සාකච්ඡාවල නිරත නොවන බවත්, දැනට සාකච්ඡා කිරීමේ අදහසක් නොමැති බවත්ය. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් (Karoline Leavitt) බදාදා අනතුරු ඇඟවූයේ ඉරානය මිලිටරි පරාජය පිළිනොගන්නේ නම් පෙර නොවූ විරූ තරම් දරුණු ලෙස පහර දෙනු ඇති බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය නිදහසේ සිදුවන තෙක් තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළඳපොළ නිරීක්ෂකයෝ පවසති.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top