ඉරානය සමඟ පවතින සාකච්ඡා ඉතා යහපත් මට්ටමක පවතින බැවින්, එරට බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාර තවත් දින 10කින් කල් දැමීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
පසුගියදා ඔහු විසින්ම පනවාගෙන තිබූ කාලසීමාව මෙලෙස දෙවන වරටත් දීර්ඝ කර ඇති අතර, ඒ අනුව නව අවසාන දිනය අප්‍රේල් 06 වැනිදා ලෙස සටහන් වේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් ඉරානය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැති වුවද, සටන් විරාමයක් සඳහා තමන් ඉදිරිපත් කළ කොන්දේසිවලට වොෂින්ටනය ලබාදෙන පිළිතුර අපේක්ෂාවෙන් සිටින බව ටෙහෙරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි ද කැපී පෙනෙන පහත වැටීමක් සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
කැබිනට් මණ්ඩල රැස්වීමකදී විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) තහවුරු කළේ කරුණු 15කින් සමන්විත සාම සැලසුමක් ඇමරිකාව විසින් ඉරානය වෙත යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානය මෙම සාම සැලසුමට එකඟ නොවන්නේ නම් ඇමරිකාව ඔවුන්ගේ Worst Nightmare වනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් දැඩි ලෙස අවධාරණය කළේය.
මේ අතරතුර, ඉරානය විසින් එල්ල කළ නව මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව මැඩපැවැත්වූ බවත්, ටෙහෙරානය සහ බීරූට් නගර ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායලය නිවේදනය කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



