අප්‍රිකාවේ පැරණිතම ජාතික උද්‍යානයේ දුර්ලභ කඳුකර ගෝරිල්ලා නිවුන් පැටවුන් බිහිකරයි

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පිහිටි විරුංගා ජාතික උද්‍යානයෙන් (Virunga National Park) අතිශය දුර්ලභ පුවතක් වාර්තා වේ. ඒ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කඳුකර ගෝරිල්ලා (Mountain Gorilla) වර්ගයට අයත් නිවුන් පැටවුන් දෙදෙනෙකු මෙලොව එළිය දැකීමයි.

කඳුකර ගෝරිල්ලන් අතර නිවුන් දරු උපත් සිදුවන්නේ සමස්ත උපත්වලින් 1% ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකිනි. ‘මෆුකෝ’ (Mafuko) නැමති 22 හැවිරිදි මව් ගෝරිල්ලිය සිය අලුත උපන් පිරිමි පැටවුන් දෙදෙනා තුරුළු කරගෙන සිටින අයුරු වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත. දැනට ලෝකය පුරාම වනයේ වෙසෙන කඳුකර ගෝරිල්ලන් සංඛ්‍යාව 1,100 කටත් වඩා අඩුය. ඔවුන් දක්නට ලැබෙන්නේ කොංගෝව, රුවන්ඩාව සහ උගන්ඩාව යන රටවල සීමාවන්ට අයත් වනාන්තරවල පමණි.

විරුංගා උද්‍යානය පිහිටා ඇත්තේ යුද ගැටුම් පවතින ප්‍රදේශයක බැවින් මෙම සතුන්ගේ ආරක්ෂාව දැඩි අභියෝගයකි. නිවුන් පැටවුන් දෙදෙනාගේ පැවැත්ම සහතික කිරීම සඳහා උද්‍යාන බලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ සහ ආරක්ෂක කණ්ඩායම් යොදවා ඇත. මෆුකෝ මීට පෙර 2016 වසරේදී ද නිවුන් පැටවුන් බිහි කළ නමුත්, සතියක් ඇතුළත ඔවුන් මිය ගියේය. එමනිසා මෙවර පැටවුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. දඩයම්කරුවන් (Poachers) සහ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මෙම සතුන්ට පවතින ප්‍රධාන තර්ජන වේ.

යුනෙස්කෝ (Unesco) ලෝක උරුම අඩවියක් වන විරුංගා උද්‍යානය මගින් ක්‍රියාත්මක කරන දඩයම් විරෝධී මෙහෙයුම් සහ ප්‍රජා වැඩසටහන් හේතුවෙන් පසුගිය දශකය තුළ කඳුකර ගෝරිල්ලන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top