බටහිර ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 ඉන්ධන පිරවුම් යානයේ සිටියදී මියගිය සේවා සාමාජිකයන් හය දෙනාගේ නම් පෙන්ටගනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම අනතුරෙන් මියගිය පිරිස අතර අමෙරිකානු ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සාමාජිකයන් තිදෙනෙකු සිටිති. ඔවුන් නම් ඇලබාමා හි ජෝන් ක්ලිනර් (33), වොෂින්ටන් හි අරියානා සැවිනෝ (31), කෙන්ටකි හි ඈෂ්ලි පෲට් (34), ඉන්දියානා හි සෙත් කෝවල් (38), ඔහායෝ හි කර්ටිස් ඇන්ග්ස්ට් (30) සහ ටයිලර් සිමන්ස් (28) වේ.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මියගිය පිරිස “අමෙරිකානු වීරයන්” ලෙස හඳුන්වමින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත. මෙම අනතුර සතුරු ප්‍රහාරයක් නිසා සිදු වූවක් නොවන බව අමෙරිකානු හමුදාව මුලින් ප්‍රකාශ කළද, යානා දෙකක් සම්බන්ධ වූ මෙම සිදුවීමේදී ඒවා අහසේදී එකිනෙක ගැටෙන්නට ඇතැයි (Midair collision) සැක කරන බව ආරක්ෂක අංශ පවසයි. අනතුරට පත් වූ අනෙක් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
කෙසේ වෙතත්, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු මධ්‍යම විධානය (US Central Command) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



