හොමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී ඇති රටවල් පිළිබඳ නවතම තොරතුරු

යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් හොමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ප්‍රකාශ කළද, ඇතැම් මිත්‍රශීලී රටවල නෞකාවලට එහි ගමන් කිරීමට සීමිත අවසරයක් ලබා දී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා තම ඉරාන සගයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු, ඉන්දීය ධජය සහිත නෞකාවලට සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානය අවසර දී ඇත. මේ වන විට ඉන්දීය ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) රැගත් නෞකා කිහිපයක් ආරක්ෂිතව එම කලාපය පසු කර තිබේ.

බංග්ලාදේශයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවලටද ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබී ඇත. ඒ සඳහා ඔවුන් ගමන් කිරීමට පෙර ඉරාන බලධාරීන් දැනුවත් කර සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතුය.

පාකිස්ථාන ධජය යටතේ යාත්‍රා කරන ‘Karachi’ නමැති ඉන්ධන නෞකාවද මෑතකදී කිසිදු බාධාවකින් තොරව හොමූස් සමුද්‍ර සන්ධිය පසු කර ඇති බව වාර්තා වේ.

තුර්කියට අයත් එක් නෞකාවකට ඉරාන බලධාරීන්ගෙන් විශේෂ අවසරයක් ලැබී ඇති අතර තවත් නෞකා කිහිපයක් අවසර ලැබෙන තෙක් රැඳී සිටින බව පැවසේ.

ඉරානයේ විශාලතම තෙල් ගැනුම්කරුවා වන චීනයට අයත් නෞකා මේ දක්වා බාධාවකින් තොරව ගමන් කරන අතර, තම තෙල් සහ ගෑස් නෞකා සඳහා ස්ථිර ආරක්ෂිත මාවතක් ලබා ගැනීමට චීනය ඉරානය සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වයි.

ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වලට සෘජුව සම්බන්ධ නොවූ යුරෝපීය රටවල් වන ප්‍රංශය සහ ඉතාලිය, තම වෙළඳ නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා ගැනීම සඳහා මේ වන විට ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇත.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසන්නේ සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා නැතත්, එහි පාලනය ඉරාන හමුදාව සතු බැවින් ඕනෑම නෞකාවක් ගමන් කිරීමට පෙර ඉරානයේ අනුමැතිය ලබාගත යුතු බවයි. එසේ නොමැතිව ගමන් කිරීමට උත්සාහ කරන නෞකා ඉලක්ක කරන බවට ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top