වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට ‘Meta’ සහ ‘TikTok’ හිතාමතාම හානිකර අන්තර්ගතයන් ප්‍රචාරය කළ බවට හෙළිදරව්වක්!

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන Meta (Facebook සහ Instagram හිමිකාරීත්වය දරන) සහ TikTok යන සමාගම්, පරිශීලකයන්ගේ අවධානය දිනාගැනීම සඳහා හිතාමතාම හානිකර අන්තර්ගතයන් ප්‍රචාරය වීමට ඉඩ හැර ඇති බව එම සමාගම්වලම අභ්‍යන්තර තොරතුරුකරුවන් (Whistleblowers) පිරිසක් හෙළි කර ඇත.

පරිශීලකයන් තුළ ඇති වන කෝපය සහ දැඩි ප්‍රතිචාර (Outrage) හරහා සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරීත්වය සහ ලාභය ඉහළ යන බව හඳුනාගැනීමෙන් පසු මෙම තීරණ ගෙන ඇති බව ඔවුහු පවසති.

Meta සමාගමේ ඉංජිනේරුවරයෙකු හෙළි කර ඇත්තේ, TikTok සමඟ තරඟ කිරීම සඳහා ස්ත්‍රී දූෂණය, කුමන්ත්‍රණවාදී මතවාද සහ වෙනත් හානිකර අන්තර්ගතයන් පරිශීලකයන්ගේ Feed එකට වැඩිපුර ඇතුළත් කරන ලෙස ඉහළ කළමනාකාරීත්වය උපදෙස් දුන් බවයි.

එසේම, 2020 වසරේදී Instagram Reels හඳුන්වා දුන්නේ ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන රහිතව බවත්, එහි වෛරී ප්‍රකාශ සහ හිරිහැර කිරීම් (Bullying) වෙනත් අංශවලට වඩා ඉතා ඉහළ මට්ටමක පවතින බවත් අභ්‍යන්තර පර්යේෂණ දත්ත මගින් තහවුරු වී ඇත.

TikTok සමාගම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ සේවකයෙකු පවසා ඇත්තේ, දරුවන්ට හානිකර වන අන්තර්ගතයන් පිළිබඳ වාර්තා (Reports) විමර්ශනය කරනවා වෙනුවට, දේශපාලනඥයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට සමාගම ප්‍රමුඛතාව ලබා දුන් බවයි. මෙයට හේතුව වී ඇත්තේ දේශපාලන බලපෑම් මත පැනවිය හැකි තහංචි හෝ නියාමනයන්ගෙන් බේරීමට එම පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමයි.

පරිශීලකයන්ගේ ආරක්ෂාවට වඩා තමන්ගේ ව්‍යාපාරික වර්ධනය සහ දේශපාලන ස්ථාවරත්වය ගැන මෙම සමාගම් වැඩි අවධානයක් යොමු කර ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top