ඉරානය පුරා පැතිර යන දැවැන්ත විරෝධතා මැඩපැවැත්වීම සඳහා රජය දියත් කළ මාරාන්තික මර්දනයේ අතිශය කම්පන සහගත දර්ශන රැසක් මේ වන විට තහවුරු වී තිබේ. රෝහල් තුළ මළසිරුරු ගොඩගැසී ඇති අයුරු, ගොඩනැගිලි මත සිටින ස්නයිපර් තුවක්කුකරුවන් සහ ආරක්ෂක කැමරා විනාශ කරන විරෝධතාකරුවන් මෙම වීඩියෝවලින් දැකගත හැකිය.
ඉරාන රජය විසින් පනවා ඇති අන්තර්ජාල තහනම හේතුවෙන් සැබෑ තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇතත්, විවිධ මානව හිමිකම් සංවිධාන බරපතළ දත්ත ඉදිරිපත් කරයි. HRANA (ඇමරිකාව පදනම් කරගත්) මරණ 6,000ක් පමණ තහවුරු කර ඇති අතර තවත් මරණ 17,000ක් ගැන විමර්ශනය කරයි. IHR (නෝර්වේ පදනම් කරගත්) අවසන් මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවිය හැකි බවට අනතුරු අඟවයි. ඉරාන බලධාරීන් පවසන පරිදි මියගිය සංඛ්‍යාව 3,100ක් බව පවසන අතර, ඉන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් වේ.
ටෙහෙරාන්පාර්ස් රෝහලේ (Tehranpars Hospital) මෘත ශරීරාගාරය තුළ මළසිරුරු 31ක් පමණ එකම දර්ශනයක ගොඩගසා ඇති අයුරු දැකගත හැකිය. රෝහල ඉදිරිපිට ද මළසිරුරු බෑග් කිහිපයක් තබා ඇත. මෂාඩ් (Mashhad) නගරයේ ගොඩනැගිලි වහල මත කළු පැහැති ඇඳුමින් සැරසුණු සන්නද්ධ පුද්ගලයන් සිටින අයුරු වීඩියෝ ගත වී ඇත. රජයේ දැඩි නිරීක්ෂණ පද්ධතිවලින් බේරීම සඳහා විරෝධතාකරුවන් වීදිවල ඇති CCTV කැමරා පොලු පාවිච්චි කර විනාශ කරන අයුරු වාර්තා වේ. ජනවාරි 8 වැනිදා සිට ක්‍රියාත්මක වන අන්තර්ජාල තහනම මග හැර තොරතුරු පිටතට යැවීමට ඇතැම් පිරිස් ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාලය භාවිතා කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.


