කෙන්යාවේ (Kenya) සිටි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු තමන් අලියෙකුට බියර් පානය කිරීමට සලස්වන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍යවල පළ කිරීමත් සමඟ ඒ සඳහා දැඩි දෝශාරෝපන එල්ල වන බව වාර්තා වේ.
ඔහු වනජීවී රක්ෂිතයකදී ප්‍රදේශයේ ජනප්‍රිය බියර් වර්ගයක් වන Tusker පානය කර, ඉතිරිය අලියාට ලබා දෙන අයුරු වීඩියෝවක දැක්වෙන බව වාර්තා වේ. මෙම වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉවත් කිරීමට පෙර, කෙන්යානුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම පසුගිය වසරේ සිදුවූවක් බවත්, එය අනුමත කළ නොහැකි, භයානක සහ තමන්ගේ වටිනාකම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක් බවත් ඔල් ජොගි කන්සර්වන්සි (Ol Jogi Conservancy) වනජීවී අභයභූමිය විසින් තහවුරු කර ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ අලියා බූපා (Bupa) නම් මිත්‍රශීලී පිරිමි සතෙකු බව ඔල් ජොගි කන්සර්වන්සි විසින් තහවුරු කර ඇත. ඔහුව වයස අවුරුදු අටේදී සිම්බාබ්වේහි (Zimbabwe) සමූල ඝාතනයකින් බේරාගෙන 1989 දී මෙම අභයභූමියට ගෙනවිත් ඇත.
එම සිදුවීමෙන් පසු, සංචාරක සහ වනජීවී අමාත්‍යාංශය විසින් දැඩි නීති රීති ප්‍රකාශයට පත් කර, උද්‍යාන රීති අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ක්‍රියාකරුවන්ට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



