ඩෙන්මාර්කයේ ගුවන් තොටුපළ ඩ්‍රෝන් ප්‍රහාර ‘වෘත්තීය මට්ටමකින්’ සිදුවූවක්: රුසියානු සාක්ෂි නැහැ

ඩෙන්මාර්කයේ ගුවන් කලාපය හරහා රාත්‍රී කාලයේ සිදු වූ ඩ්‍රෝන් පියාසැරි සංයුක්ත ප්‍රහාරයක් (hybrid attack) බවත්, එය වෘත්තීයමය පාර්ශවයක ක්‍රියාවක් බවත් එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.

මෙම ඩ්‍රෝන යානා දේශීයව දියත් කර ඇති බව ආරක්ෂක අමාත්‍ය ට්‍රෝල්ස් ලුන්ඩ් පෝල්සන් (Troels Lund Poulsen) පැවසුවද, රුසියාවේ සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔහු අවධාරණය කර ඇත.

මෙම සිදුවීමට අදාලව මිලිටරි සහ වාණිජ ගුවන් ගමන් සඳහා භාවිත කරන, උතුරු දිග පිහිටි ආල්බෝර්ග් (Aalborg) ගුවන් තොටුපළ, ඩ්‍රෝන් යානා දක්නට ලැබීමෙන් පසු තාවකාලිකව වසා දමන ලදී. එමෙන්ම, දකුණු කලාපයේ තවත් කුඩා ගුවන් තොටුපළ කිහිපයක් ද ඩ්‍රෝන් ක්‍රියාකාරකම් වාර්තා කළ නමුත් ඒවා වසා නොදැමිණි. මෙය, සතියක් ඇතුළත ඩෙන්මාර්කයේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගත් දෙවන ප්‍රධාන සිදුවීමයි. මීට පෙර කොපන්හේගන් (Copenhagen) ගුවන් තොටුපළ ද මේ හේතුවෙන් වසා දැමීමට සිදුවිය.

ආරක්ෂක අමාත්‍ය පෝල්සන් ප්‍රකාශ කළේ, එකම වේලාවක මෙතරම් ස්ථාන සංඛ්‍යාවක මෙවැනි ක්‍රමානුකූල මෙහෙයුමක් සිදු කරන විට, මේ සියල්ල වෘත්තීය පාර්ශවයක ක්‍රියාවක් බවට කිසිදු සැකයක් නොමැති බවයි.

ඩෙන්මාර්ක බලධාරීන් පවසා ඇත්තේ මෙම තර්ජනයට මුහුණ දීම සඳහා ඩ්‍රෝන යානා හඳුනාගැනීම හා ඒවාට එරෙහිව කටයුතු කිරීමේ නව හැකියාවන් ලබා ගැනීමට සහ නීති රීති යාවත්කාලීන කිරීමට සූදානම් වන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top