ඩේවිඩ් බෙකම්ට රජු චාල්ස්ගේ උපන් දින ගෞරව සම්මාන ලැයිස්තුවෙන් 'නයිට්' පදවිය
එංගලන්ත පාපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වූ වයස අවුරුදු 50ක් වන හිටපු එංගලන්ත පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ට, තෙවන චාල්ස් රජුගේ උපන් දින නිල ගෞරව සම්මාන ලැයිස්තුව යටතේ ‘නයිට්’ (Knighthood) පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.
ඔහු 2003 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිලධාරී (OBE – Officer of the Order of the British Empire) ලෙසින්ද පත් කරනු ලැබීය.කෙසේ වෙතත්, ඔහු පාපන්දු ක්‍රීඩාවට සහ බ්‍රිතාන්‍ය සමාජයට කළ දායකත්වය වෙනුවෙන්, තවදුරටත් මහත් ගෞරවනීය පිළිගැනීමක් ලෙස මෙම ‘නයිට්’ පදවිය ලබාදීමට නියමිත බව BBC Sport පුවත් සේවය වාර්තා කරයි. මෙම සම්මාන ලැයිස්තුව ලබන සතියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
බෙකම්, එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 115කට ක්‍රීඩා කර ඇති අතර, මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United), රියල් මැඩ්රිඩ් (Real Madrid), එල්.ඒ. ගැලැක්සි (LA Galaxy), පැරිස් සෙන්ට් ජර්මන් (Paris Saint-Germain) සහ ඒ.සී. මිලාන් (AC Milan) වැනි ජාත්‍යන්තර පාපන්දු සමාජ නියෝජනය කර ඇත. ඔහු 2013 වසරේදී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබීය.
ඩේවිඩ් බෙකම්, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීම සඳහාද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති අතර ඔහු 2005 වසරේ සිට යුනිසෙෆ් (Unicef) සංවිධානයේ තානාපතිවරයකු ලෙස ද කටයුතු කරයි.බෙකම් 2011 වසරේදී ප්‍රථම වරට ‘නයිට්’ සම්මානය සඳහා නිර්දේශ වී ඇති බව ද වාර්තා වේ
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්රහයෙනි



