සති තුනක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම්වලින් අනතුරුව, තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මෙම දරුණු ගැටුම් හේතුවෙන් දේශසීමා ආසන්නයේ පදිංචි මිලියනයකට ආසන්න ජනතාවකට තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදු විය.
දෙරටේම ආරක්ෂක අමාත්‍යවරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව එකඟ වූ ප්‍රධාන කරුණු කිහිපයකි. එනම් දැනට සටන් පවතින සීමාවන් එලෙසම පවත්වා ගැනීම සහ අතිරේක හමුදා බලඇණි කැඳවීම තහනම් කිරීම, දේශසීමා ආසන්නයේ පදිංචි සිවිල් වැසියන්ට හැකි ඉක්මනින් තම නිවෙස් කරා යාමට අවස්ථාව සලසා දීම, සටන් විරාමය පැය 72ක් පුරා සාර්ථකව පවතින්නේ නම්, ජූලි මාසයේ සිට තායිලන්තය භාරයේ පසුවන කාම්බෝජ සිරකරුවන් 18 දෙනෙකු නිදහස් කිරීම, දේශසීමා කලාපයේ ඇති බිම් බෝම්බ ඉවත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.
මෙම සාමකාමී එකඟතාවය ඇති කර ගැනීම සඳහා චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික දිරිගැන්වීම් විශාල බලපෑමක් කළ බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් ද පවසා සිටියේ මෙම සටන් විරාමය ස්ථිර සාමයක් සඳහා මාවත විවර කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



