බ්‍රිතාන්‍ය හමුදා බඳවා ගැනීම් වැඩිකිරීමට තරුණ පිරිස් සඳහා ‘Gap Year’ පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙයි

පාසල් සහ විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන්ට දිගුකාලීන බැඳීමකින් තොරව යුද, නාවික හෝ ගුවන් හමුදාවන්හි අත්දැකීම් ලබාගත හැකි නව ‘Gap Year’ (අතරමැදි වසරක) පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

මෙහි ප්‍රධාන ඉලක්කය බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවල පවතින බඳවා ගැනීමේ ගැටලු සහ සේවකයින් රඳවා ගැනීමේ අර්බුදයට විසඳුම් සෙවීම වන අතර ඉලක්කගත කණ්ඩායම වයස අවුරුදු 25 අඩු තරුණ තරුණියන් වේ. මෙය වැටුප් සහිත පුහුණු වැඩසටහනකි. නිශ්චිත වැටුප මෙතෙක් ප්‍රකාශ කර නොමැති වුවද, සහභාගී වන්නන්ට නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ගැටලු විසඳීම වැනි ජීවිතයට වටිනා කුසලතා රැසක් ඉගෙන ගත හැකි බව රජය පවසයි.

මුලින් 150 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, පසුව එම සංඛ්‍යාව වසරකට 1,000 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය. යුද හමුදාව යටතේ සති 13 මූලික පුහුණුවක් සහිත වසර දෙකක වැඩසටහනක් , නාවික හමුදාව යටතේ වසරක පුහුණුවක් පිරිනැමේ. ගුවන් හමුදා (RAF) වැඩසටහන තවමත් සංවර්ධනය වෙමින් පවතී. මෙම පුහුණුව ලබන්නන් සක්‍රීය හමුදා මෙහෙයුම් හෝ සටන් පෙරමුණු සඳහා යොදා නොගැනේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) පවසා සිටියේ මෙය තරුණ පිරිස්වලට අතිශය වැදගත් කුසලතා සහ පුහුණුවක් ලබාදෙන අවස්ථාවක් බවයි. කෙසේ වෙතත්, විපක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂය මෙයට විවේචන එල්ල කරමින් පවසන්නේ බඳවා ගැනීමට අපේක්ෂිත 150 වැනි සුළු පිරිස ප්‍රමාණවත් නොවන බවයි. මෙම කෙටි කාලීන පුහුණුවෙන් පසු, තරුණ පිරිස් හමුදා සේවය සිය ස්ථිර වෘත්තිය ලෙස තෝරා ගැනීමට පෙළඹෙනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top