ස්විට්සර්ලන්තයේ සංචාරක නිකේතනයක ඇතිවූ දරුණු ගින්නකින් 40ක් ජීවිතක්ෂයට: සියයකට වැඩි පිරිසකට තුවාල

ස්විට්සර්ලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ ස්කී (Ski) සංචාරක නිකේතනයක පිහිටි රාත්‍රී සමාජශාලාවක ඇතිවූ දරුණු ගින්නකින් පුද්ගලයන් 40ක් පමණ මියගොස් තවත් 115 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.

වසර උදාව සැමරීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බ්‍රහස්පතින්දා අලුයම 01:30 පමණ, ක්‍රාන්ස්මොන්ටානා (Crans-Montana) හි පිහිටි ‘Le Constellation’ නැමැති Bar හි මෙය සිදු වී ඇති අතර මියගිය සහ තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිස් වැඩි වශයෙන් සිටින බව වාර්තා වේ. මොවුන් ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක වැසියන්ය.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයකට බරපතල පිලිස්සුම් තුවාල (Third-degree burns) සිදුවී ඇති අතර, ඔවුන් ලෝසාන්, සූරිච් සහ ජිනීවා යන නගරවල පිහිටි විශේෂිත පිලිස්සුම් ඒකක වෙත මාරු කර යවා ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ඇතැම් පිරිස් විෂ දුමාරය ආග්‍රහණය කිරීම නිසා පෙණහලු අභ්‍යන්තරයේ බරපතල තුවාල සිදුවී ඇති බවයි.

මෙය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක් නොවන බව පරීක්ෂකයින් දැනටමත් තහවුරු කර ඇත. ගින්න මෙතරම් දරුණු වීමට “Flashover” නැමැති තත්ත්වය බලපා ඇති බව විමර්ශකයෝ සැක කරති. “Flashover” යනු, කාමරයක ඇති ගෘහ භාණ්ඩ සහ අනෙකුත් ද්‍රව්‍ය අධික උෂ්ණත්වය නිසා වායූන් නිකුත් කරමින්, තත්පර කිහිපයක් ඇතුළත මුළු කාමරයම එකවර ගිනි ගැනීම මෙම තත්ත්වයයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top