අල්ලසට සහ දූෂණයට එරෙහිව පිලිපීනයේ මැනිලා නගරයේ පැවති විරෝධතා අතරතුර ප්රචණ්ඩ ගැටුම් හට ගැනීමෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ඇස්තමේන්තුගත පෙසෝ බිලියන 118.5 (ඇමරිකානු ඩොලර් බිලියන 2)ක වටිනාකමකින් යුත් ගංවතුර පාලන ව්යාපෘති පිළිබඳ හෙළිදරව්වීම මෙම විරෝධතාවලට හේතු වී ඇත.
බොහෝ විරෝධතා සාමකාමීව පැවතුන ද, අයලා පාලම සහ මෙන්ඩියෝලා යන ස්ථානවල රැස්ව සිටි දහස් ගණනක් අතරින්, මුහුණු ආවරණය කළ විරෝධතාකරුවන් පිරිසක් ප්රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත. ඔවුන් ගල් ගැසීම, යතුරුපැදි ගිනිතැබීම සහ ව්යාපාරික ස්ථානවලට අලාභහානි සිදුකර ඇත. පොලීසිය මේ සඳහා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇති අතර, බාලවයස්කරුවන් ඇතුළු පුද්ගලයන් 224ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම්වලින් පොලිස් නිලධාරීන් 131ක් තුවාල ලබා ඇති අතර, කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සැබෑ විරෝධතාකරුවන් සහ කුලියට ගත් අය සිටින්නේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන ක්රියාත්මක වන බව බලධාරීහු පැවසූහ. පොලීසිය විසින් බාලවයස්කරුවන් සඳහා ඇඳිරි නීතියක් පනවා ඇති අතර, මැනිලා නගරය පුරා ආරක්ෂාව තර කර ඇත. ඇතැම් ප්රදේශවල පාසල් වසා දමා තිබේ.
පිලිපීනයේ ඇති වූ මෙම නොසන්සුන්තාව, මෑත සතිවලදී ඉන්දුනීසියාවේ සහ නේපාලයේ සිදුවූ එවැනිම දූෂණ විරෝධී විරෝධතා සිහිගන්වයි. මෙය රාජ්ය අක්රමිකතා සහ මහජන අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් වර්ධනය වන කලකිරීමක් පෙන්නුම් කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



