බ්‍රිතාන්‍යයේ නව ‘ETA’ සංචාරක නීති අද සිට ක්‍රියාත්මකයි

මෙතෙක් කාලයක් බ්‍රිතාන්‍යට පැමිණීම සඳහා වීසා අවශ්‍ය නොවූ ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 85ක වැසියන්ට දැන් සංචාරය කිරීමට පෙර මෙම ETA (Electronic Travel Authorisation) අවසරපත ලබා ගැනීම අනිවාර්ය වේ.

මෙය බ්‍රිතාන්‍යට ඇතුළු වීමට පෙර ලබාගත යුතු ඩිජිටල් අවසර පත්‍රයකි. මෙහි වලංගු කාලය වසර 2කි (හෝ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වන තෙක්). වරකට මාස 6ක් දක්වා සංචාරක, ව්‍යාපාරික හෝ කෙටි කාලීන අධ්‍යාපන කටයුතු සඳහා රැඳී සිටිය හැක. එක් අයෙකුට පවුම් 10ක් (රුපියල් 4000ක් පමණ) වැය වේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය මෙන්ම වෙනත් රටක (උදා: ඇමරිකාව) පුරවැසිභාවය ද හිමි පුද්ගලයින්, ඔවුන්ගේ විදේශීය ගමන් බලපත්‍රයෙන් බ්‍රිතාන්‍යට පැමිණෙන්නේ නම් දැන් ETA ලබාගත යුතුය. මෙය මගහරවා ගැනීමට නම් ඔවුන් බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් (UK Passport) භාවිතා කළ යුතු බැවින්, බොහෝ පිරිසක් දැන් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට යොමු වී ඇත.

බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත පුරවැසියන් සඳහා  ETA හෝ වීසා අවශ්‍ය නොවේ. එමෙන්ම දැනටමත් බ්‍රිතාන්‍ය වීසා බලපත්‍රයක් ඇති අයෙකුට අමතරව ETA අවශ්‍ය නොවේ. බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළක් හරහා වෙනත් රටකට යන, දේශසීමා පරීක්ෂාවට (Border Control) ලක් නොවන මගීන්ට මෙය අවශ්‍ය නොවේ.

මෙම ක්‍රමය හරහා බ්‍රිතාන්‍යයේ ආගමන විගමන පද්ධතිය වඩාත් ආරක්ෂිත, වේගවත් සහ විධිමත් වනු ඇති බව රජය පවසයි. 2023 ඔක්තෝබර් සිට මෙය අත්හදා බැලුවද, අද (පෙබරවාරි 25) සිට එය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top