මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට මිසයිල හිඟයක්: සෙලෙන්ස්කිගෙන් අනාවරණයක්

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනය භාවිතා කරන මිසයිලවල දැඩි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු කියා සිටියේ, අමෙරිකාව සතු සම්පත් මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීම හරහා යුක්‍රේනය දුර්වල කිරීම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අරමුණ වී ඇති බවයි.

ජනාධිපති සෙලෙන්ස්කි මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු පැහැදිලි කර ඇත. “අමෙරිකාව මසකට නිෂ්පාදනය කරන්නේ ‘පේට්‍රියට්’ (Patriot) මිසයිල 60-65ක් පමණයි. ඒ අනුව වසරකට මිසයිල 800ක් පමණ නිෂ්පාදනය වෙනවා. නමුත් මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ පළමු දිනයේම මිසයිල 803ක් භාවිත කර තිබෙනවා,” යැයි ඔහු පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු ගුවන් ආරක්ෂණ පද්ධති නිෂ්පාදකයන්ගේ සම්පත් ක්ෂය වීම යුක්‍රේනයේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් වන බව ඔහුගේ මතයයි. මැදපෙරදිග යුද්ධය දිගු වීම හරහා බලශක්ති මිල ඉහළ යාම රුසියාවට වාසියක් වන අතර, එය යුක්‍රේනයේ සාම සාකච්ඡා අඛණ්ඩව ප්‍රමාද වීමට හේතුවක් වී ඇති බවද සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top