ලා ලිගා (La Liga) ශූරතාව ආරක්ෂා කිරීම ආරම්භ කරමින් බාර්සිලෝනා (Barcelona) කණ්ඩායම මල්ලෝර්කා (Mallorca) කණ්ඩායම 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය. ඔවුන් තරගයේ මුලදීම ගෝලයක් ලබා ගත් අතර, මල්ලෝර්කා කණ්ඩායමට පළමු අර්ධයේදී රතු කාඩ්පත් දෙකක් හිමි වීම වාසියක් කර ගත්තා.
පසුගිය වාරයේ බාර්සිලෝනාවේ ප්රහාරයට නායකත්වය දුන් රෆින්හා (Raphinha) සහ ලැමින් යමාල් (Lamine Yamal), නැවතත් සිය දක්ෂතා විදහා පෑමට මිනිත්තු හතක් පමණක් ගත කළහ. යමාල්ගේ හරස් පහර රෆින්හා සොයා ගිය අතර, බ්රසීලියානු ක්රීඩකයා හිසෙන් පහරක් එල්ල කර ගෝලයක් වාර්තා කළේය. 23 වන මිනිත්තුවේදී ෆෙරාන් ටොරස් (Ferran Torres) විසින් ප්රදේශයෙන් පිටත සිට එල්ල කළ පහරක් ගෝලයක් බවට පත් විය.
ඊට මිනිත්තු 10කට පසුව, යමාල්ට අවහිර කිරීමක් සඳහා දෙවන කහ කාඩ්පතක් ලැබීමෙන් මනු මෝර්ලනේස්ට (Manu Morlanes) පිටියෙන් ඉවත් වීමට සිදු විය. ඔහුගේ පළමු කහ කාඩ්පත ලැබුණේ බාර්සිලෝනා කණ්ඩායමේ දෙවන ගෝලයට විරෝධය දැක්වීම සඳහායි.
දෙවන රතු කාඩ්පත 39 වන මිනිත්තුවේදී මල්ලෝර්කා ප්රහාරක වේදට් මුරික්ට (Vedat Muriqi) හිමි වූයේ, පන්දුවට පහර දීමට උත්සාහ කිරීමේදී ඔහුගේ වම් පාදයෙන් බාර්සිලෝනා ගෝල රකින්නා වූ ජෝන් ගාර්ෂියාගේ (Joan García) හිසට වැදීම හේතුවෙනි. වීඩියෝ සමාලෝචනයකින් (video review) පසු විනිසුරු කහ කාඩ්පත රතු කාඩ්පතක් බවට වෙනස් කළේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



