මිලියන හයකට අධික ජනගහනයක් වෙසෙන කාබුල් නගරය, ඉදිරි වසර පහ තුළ ජල හිඟයෙන් පෙළෙන පළමු නවීන නගරය බවට පත්විය හැකි බව නව වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා.
Mercy Corps නම් ලාභ නොලබන සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, අධික ලෙස ජලය ලබා ගැනීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් ඇෆ්ගන් අගනුවර භූගත ජල මට්ටම දැඩි ලෙස පහත වැටී ඇත. එබැවින්, කාබුල්හි ජල අර්බුදය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් වූයේ, පසුගිය දශකය තුළ කාබුල්හි ජල මට්ටම් මීටර් 25-30 කින් (අඩි 82 – 98) පහත වැටී ඇති අතර, වාර්ෂිකව ස්වාභාවික ප්‍රතිපූරණය අභිබවා ඝන මීටර් මිලියන 44 කින් (ඝන අඩි 1,553) ජලය නිස්සාරණය කරන බවයි.
වත්මන් ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, 2030 වන විට කාබුල්හි ජල තලයන් වියළී යනු ඇති අතර, එය ඇෆ්ගන් අගනුවරට පැවැත්මේ තර්ජනයක් එල්ල කරන බව වාර්තාව පෙන්වා දෙයි. මෙය ඇෆ්ගන් වැසියන් මිලියන තුනක් පමණ අවතැන් වීමට හේතු විය හැකි බව ද එහි සඳහන් විය. කාබුල් වැසියන්ගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන භූගත ළිංවලින් අඩක් පමණ දැනටමත් වියළී ඇති බව UNICEF සංවිධානය පුරෝකථනය කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



