එයාර් ඉන්දියා ඩ්‍රීම්ලයින් යානයක යලිත් තාක්ෂණික දෝෂයක් !

හොංකොං සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයින් ගුවන් යානයක් අද (ජුනි 16 වැනි සඳුදා) ගුවන්ගත වී සුළු වේලාවකට පසු නැවත හොංකොං වෙත පැමිණ තිබේ. ගුවන් නියමුවරයාට ගුවනේදී තාක්ෂණික දෝෂයක් පිළිබඳව සැක සිතී ඇති අතර, පූර්වාරක්ෂක පියවරක් ලෙස යානය ආපසු හරවා එවා ඇත.

මෙම සිදුවීම වාර්තා වන්නේ දින කිහිපයකට පෙර ලන්ඩන් බලා පියාසර කළ එම වර්ගයේම බෝයිං, එයාර් ඉන්දියා ගුවන් යානයක් ඉන්දියාවේ අහමදාබාද් නුවරදී ගුවන්ගත වූ මොහොතේදීම කඩා වැටී, එහි සිටි 242 දෙනාගෙන් 241 දෙනෙකුම මිය ගිය ඛේදනීය සිදුවීමෙන් පසුවයි. සඳුදා හොංකොං සිට පියාසර කළ AI315 දරණ එයාර් ඉන්දියා ඩ්‍රීම්ලයින් යානය මේ වන විට පරීක්ෂාවට ලක් කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ගුවන් ගමන් දත්ත වලට අනුව, AI315 ගුවන් යානය දහවල් 12:16 ට හොංකොං සිට ගුවන්ගත වී පැයකට වැඩි කාලයකට පසු නැවත ගොඩබස්වා ඇත. මෙම හොංකොං-නවදිල්ලිය ගුවන් ගමන සම්බන්ධයෙන් බෝයිං සමාගම හෝ එයාර් ඉන්දියා සමාගම මෙතෙක් අදහස් දක්වා නොමැත.

උපුටා ගැනීම: සියළු තොරතුරු CNA අනුග්‍රහයෙනි

Scroll to Top