2000 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය වූ “කාන්ටා ලගා” (Kaanta Laga) ගීත වීඩියෝවෙන් පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ ඉන්දීය නිළිය සහ නිරූපිකාව වන ෂෙෆාලි ජරිවාලා (Shefali Jariwala) මුම්බායි හි පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇගේ වයස අවුරුදු 42ක්.
මුම්බායි පොලීසියට අනුව, ජරිවාලා ඇගේ ඔෂිවාරා (Oshiwara) මහල් නිවසේදී ඇද වැටී ඇති අතර, ඇගේ සැමියා වන නළු පරාග් ත්‍යාගි (Parag Tyagi) විසින් බෙලෙවූ මල්ටිස්පෙෂලිටි රෝහලට (Bellevue Multispeciality Hospital) ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මූලික පරීක්ෂණවලින් ඇය හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවටයි අනුමාන කර ඇත. පොලීසිය විසින් අහම්බෙන් සිදු වූ මරණයක් ලෙස වාර්තා කර ඇති අතර, මේ වන විට කිසිදු සැකකටයුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකයක් නැති බවද ප්‍රකාශ කර තිබෙනවා. බලධාරීන් පැවසුවේ, ඇය නිරාහාරව සිටියදී හිස් බඩට තම දෛනික ඖෂධ සමඟ වයස්ගත වීම වළක්වන එන්නතක් (anti-aging injection) ලබාගෙන ඇති බවත්, එය රුධිර පීඩනය බරපතල ලෙස අඩුවීමට හේතු වන්නට ඇති බවත්ය.
පශ්චාත් මරණ පරීක්ෂණය කූපර් රෝහලේදී (Cooper Hospital) සිදු කර ඇති අතර, විෂ විද්‍යාත්මක හා හිස්ටොපති පරීක්ෂණ සඳහා සාම්පල කලීනා අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයට (Kalina Forensic Science Laboratory) යවා තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු News Wire ඇසුරෙනි.



