මියන්මාරයේ මධ්‍යම සගයින් (Sagaing) ප්‍රදේශයේ බෞද්ධ විහාරයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එම පරිශ්‍රයේ රැකවරණය පතමින් සිටි අවම වශයෙන් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සගයින් ප්‍රදේශයේ සගයින් නගරයේ ලින් ටා ලු (Lin Ta Lu) ගම්මානයේ පිහිටි මෙම විහාරයට එල්ල වූ රාත්‍රී ගුවන් ප්‍රහාරයෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ප්‍රකාශ කර ඇත.
මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ (Mandalay) සිට කිලෝමීටර් 35ක් (සැතපුම් 20ක්) පමණ වයඹ දෙසින් පිහිටි මෙම විහාරස්තානයට පැමිණ සිටි සිවිල් වැසියන් 23 දෙනෙකු අතර ළමුන් හතර දෙනෙකු ද සිටි බවත්, ජෙට් ප්‍රහාරක යානයක් අලුයම 1:00ට පමණ ගම්මානයේ විහාරයේ ගොඩනැගිල්ලකට බෝම්බයක් හෙළීමෙන් ඔවුන් මිය ගිය බවත් වාර්තා වේ. මෑත සතිවලදී ප්‍රදේශයේ සටන් වළක්වා ගැනීම සඳහා අවට ගම්මානවලින් 150කට අධික පිරිසක් එහි රැකවරණය පතමින් සිට ඇත.
2021 පෙබරවාරි මාසයේදී හමුදාව අවුන් සාන් සූ කී (Aung San Suu Kyi) ගේ තේරී පත් වූ රජයෙන් බලය අල්ලා ගැනීමෙන් පසු මියන්මාරය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති අතර, එය සිවිල් යුද්ධයක් අවුලුවා තිබෙනවා. සාමකාමී විරෝධතා මාරාන්තික බලය යොදා මර්දනය කිරීමෙන් පසු, හමුදා පාලනයට විරුද්ධ බොහෝ දෙනෙක් ආයුධ අතට ගත් අතර, රටේ විශාල ප්‍රදේශ දැන් ගැටුම්වල පැටලී සිටිති.
මෙම විහාරයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ප්‍රතිරෝධී කණ්ඩායම් විසින් පාලනය කරන ලද ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා ලින් ටා ලු සිට කිලෝමීටර් පහක් (සැතපුම් තුනක්) පමණ දුරින් පිහිටි ප්‍රදේශයකට ටැංකි සහ විවිධ ගුවන් යානා සමඟ සොල්දාදුවන් සිය ගණනක් ප්‍රහාරයකට සහභාගී වී සති කිහිපයකට පසුවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු PBS News ඇසුරෙනි.



