‘කෙටමයින් රැජින’ (‘Ketamine Queen’) ලෙස නම් කර ඇති කාන්තාවක්, ‘ෆ්‍රෙන්ඩ්ස්’ (Friends) රූපවාහිනී කතා මාලාවේ නළු මැතිව් පෙරී (Matthew Perry) ගේ මරණයට හේතු වූ මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එකඟ වී තිබෙනවා.
යුක්ති දෙපාර්තමේන්තුවට (Justice Department) අනුව, 42 හැවිරිදි ජස්වීන් සංඝා (Jasveen Sangha), ලොස් ඇන්ජලීස්හිදී (Los Angeles) චෝදනා පහකට වරද පිළිගැනීමට නියමිත අතර, එයට මරණයට හෝ ශාරීරික හානියට හේතු වූ කෙටමයින් (ketamine) බෙදා හැරීමේ චෝදනාවක් ද ඇතුළත් වේ.
ඇමරිකානු-බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකු වන ඇයට මුලින් අපරාධ චෝදනා නවයක් එල්ල විය. ෆෙඩරල් නඩු පවරන්නන් (Federal prosecutors) ඇයගේ ලොස් ඇන්ජලීස් නිවස “මත්ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලක්” ලෙස හඳුන්වා ඇති අතර, වැටලීමකදී කෙටමයින් කුප්පි දුසිම් ගණනක් සොයා ගෙන ඇත.
පෙරී 2023 ඔක්තෝබර් මාසයේදී ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුගේ නිවසේ පිටුපස ඇති ජැකුසි (jacuzzi) එකක මිය ගොස් සිටියදී හමු වූ අතර, වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ මරණයට හේතුව කෙටමයින්වල දැඩි බලපෑම් බව සොයා ගෙන තිබුණා. ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි, කෙටමයින් සැපයූ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සංඝා වන අතර, මෙම පුද්ගලයන් පෙරීගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ලාභ උපයා ගෙන ඇති අතර, එය ඔහුගේ මරණයට හේතු වී ඇත.
ඔවුන් අතර කෙටමයින් විකුණූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය සැල්වදෝර් ප්ලැසෙන්ෂියා (Dr Salvador Plasencia) සහ වෛද්‍ය මාර්ක් චාවේස් (Dr Mark Chavez), පෙරීගේ නිවසේ සිටි සහායකයෙකු වන කෙනත් ඉවාමාසා (Kenneth Iwamasa) සහ සංඝාගෙන් කෙටමයින් ලබාගෙන පෙරීට විකුණූ එරික් ෆ්ලෙමින් (Eric Fleming) ද ඇතුළත් වේ.
පස් දෙනාම මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට වරද පිළිගැනීමට එකඟ වී ඇත. සංඝාගේ අපරාධ නඩු විභාගය කිහිප වතාවක් කල් දමා ඇති අතර, එය ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණි. ෆෙඩරල් බලධාරීන් සමඟ ඇති කරගත් එකඟතාවයේ කොටසක් ලෙස, ඉදිරි සති කිහිපය තුළ ඇය විධිමත් ලෙස වරද පිළිගැනීමට ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



