ඇමරිකාවේ මිනියාපොලිස් (Minneapolis) නගරයේ කතෝලික පාසල් දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 8 සහ 10 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් ප්‍රධානී බ්‍රයන් ඕ’හාරා (Brian O’Hara) පවසා ඇත්තේ, මිසමේදී ආසනවල සිටියදී ඔවුන්ට වෙඩි වැදී ඇති බවයි. තුවාල ලැබූවන් අතර දරුවන් 14 දෙනෙකු සිටින අතර, ඔවුන් සියලු දෙනාම දිවි ගලවා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසයි.
ප්‍රහාරකයා රොබින් වෙස්ට්මන් (Robin Westman) නම් 23 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත. මෙම සැකකරු රයිෆලයක්, වෙඩි තුවක්කුවක් සහ පිස්තෝලයක් සමඟින් දේවස්ථානයේ ජනේල හරහා වෙඩි තබා, පසුව තමාටම වෙඩි තබාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ කතෝලිකයන් ඉලක්ක කරගත් වෛරී අපරාධයක් ලෙස එෆ්බීඅයි (FBI) විසින් විමර්ශනය කරනු ලබයි. කෙසේ වෙතත්, පොලිසිය තවමත් සිද්ධියට හේතුව විමර්ශනය කරමින් සිටියි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) නිවේදනය කර ඇත්තේ, වින්දිතයින්ට ගෞරවයක් ලෙස සවස් වන තුරුම ධවල මන්දිරයේ (White House) සහ සියලුම පොදු ගොඩනැගිලිවල ඇමරිකානු කොඩි අඩකුඹු කර තබන ලෙසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



