ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් (Mitchell Starc) ජාත්‍යන්තර විස්සයි-20 පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ. මෙම තීරණය, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරග කාලසටහනට සහ 2027 අයි.සී.සී. එක්දින ලෝක කුසලානයට අවධානය යොමු කිරීමට ඉඩ සලසනු ඇතැයි ඔහු පවසා ඇත. ස්ටාක් 2012 වසරේ සිට ජාත්‍යන්තර විස්සයි-20 තරග 65කට ක්‍රීඩා කර ඇති අතර, කඩුලු 79ක් දවා ගනිමින් 2021 දී ඕස්ට්‍රේලියාවට විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීමට දායක විය.
2024 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් වරට ජාත්‍යන්තර විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ස්ටාක්, එම ආකෘතියේ ඕස්ට්‍රේලියාවේ දෙවන වැඩිම කඩුලු ලාභියා ලෙස ක්‍රීඩාවෙන් සමු ගනී. 2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වේ. තම විස්සයි-20 වෘත්තීය ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විශේෂයෙන් 2021 ජයග්‍රහණය “විනෝදජනක සහ ඇදහිය නොහැකි ගමනක්” වූ බවයි.
ඕස්ට්‍රේලියාව ඉදිරියේ බංග්ලාදේශය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟ තරගාවලි මෙන්ම 2027 දී අළු බඳුන (Ashes) තරගාවලිය ද ඇතුළුව කාර්යබහුල ටෙස්ට් තරග කාලසටහනකට මුහුණ දීමට නියමිත අතර එක්දින ලෝක කුසලානය ද ළඟ එන බැවින්, ඉදිරි වසරවලදී ඕස්ට්‍රේලියාවේ එම තරඟ සඳහා නැවුම්ව, නිරෝගීව සහ සූදානම්ව සිටීමට විස්සයි-20 තරග වලින් සමුගැනීම හොඳම මාර්ගය බව ස්ටාක් වැඩි දුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු A Sports ඇසුරෙනි.



