ඇපල් සහ සැම්සුන් දුරකථන පාරිභෝගිකයින්ට පවුම් මිලියන 480 ක වන්දියක් හිමිවීමේ අවස්ථාවක්

වසර 2015 සිට 2024 අතර කාලය තුළ ඇපල් (Apple) හෝ සැම්සුන් (Samsung) ස්මාර්ට්ෆෝන් මිලදී ගත් එක්සත් රාජධානියේ මිලියන 30කට ආසන්න ජනතාවකට පවුම් 17 ක් පමණ හිමි වීමට ඉඩ ඇත. මෙය සිදුවන්නේ පාරිභෝගික කණ්ඩායමක් වන ‘විච්?’ (Which?) විසින් එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයා වන ක්වාල්කොම් (Qualcomm) සමාගමට එරෙහිව ගොනු කර ඇති නඩුව සාර්ථක වුවහොත්ය.

ලන්ඩනයේ පිහිටි තරගකාරීත්ව අභියාචනා විනිශ්චය සභාව (Competition Appeal Tribunal) හමුවේ මෙම නඩුවේ විභාගය ආරම්භ වන අතර, එය සති පහක් පුරා පැවැත්වීමට නියමිතය. මෙම නඩු විභාගය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ක්වාල්කොම් සමාගම වෙළෙඳපොළ බලය දැරුවාද? එසේ නම්, ඔවුන් එම ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කළාද? යන්න පිළිබඳවයි. කෙසේ වෙතත්, මෙම දෙවන අදියර අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකිය.

ජ්‍යෙෂ්ඨ ‘which?’ නීතිඥවරියක් වන ලීසා වෙබ් (Lisa Webb) පවසා ඇත්තේ මෙම හිමිකම් ඉල්ලීම 2021 දී ගොනු කළ බවත්, ඒ නිසා 2025 දී මෙම පළමු නඩු විභාගය පැවැත්වීම කාලය ගතවන වැඩක් බව පැහැදිලි බවත්ය. නමුත් මෙම ක්‍රමයේ ඇති සැබෑ වාසිය නම්, පාරිභෝගිකයෙකු කිසිවක් කිරීමට අවශ්‍ය නැති බවත්, නඩුව සාර්තක වුවහොත් පාරිබෝගිකයාට මුදල් හිමිවන බවත්ය.

ක්වාල්කොම් සමාගම මීට පෙර පවසා ඇත්තේ මෙම නඩුවට “කිසිදු පදනමක් නැති” බවයි. කැනඩාවේ ද ක්වාල්කොම් සමාගමට එරෙහිව සමාන නඩුවක් විභාග වෙමින් පවතින අතර, සමාගමට මීට පෙර යුරෝපා සංගමය විසින්ද තරගකාරීත්වයට එරෙහි හේතු මත දඩ නියම කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top