අති-සැකසූ ආහාර (UPF) ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් බව විශේෂඥයෝ අනතුරු අඟවති

සෞඛ්‍යයට ඇති තර්ජනය හේතුවෙන්, ලොව පුරා ආහාර වේල්වල අති-සැකසූ ආහාර (Ultra-Processed Food – UPF) අවම කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවට ගෝලීය පර්යේෂණ සමාලෝචනයකදී ජාත්‍යන්තර විශේෂඥයෝ අනතුරු අඟවති.

විශේෂඥයන් පවසන්නේ, අපගේ ආහාර ගැනීමේ රටාව වෙනස් වෙමින් පවතින බවයි. එනම්, නැවුම්, ස්වභාවික ආහාරවලින් ඈත් වී, ලාභදායී, ඉහළින් සැකසූ ආහාර වෙත යොමු වීමෙන් තරබාරුකම සහ මානසික අවපීඩනය ඇතුළු නිදන්ගත රෝග ගණනාවකට ඇති අවදානම වැඩි වන බවයි.

අති-සැකසූ ආහාර ලෙස අර්ථ දැක්වෙන්නේ, ඉමල්සිෆයර් (emulsifiers), කල් තබා ගන්නා ද්‍රව්‍ය (preservatives), ආකලන (additives), ඩයි වර්ග සහ රසකාරක වැනි, ඔබේ මුළුතැන්ගෙයි කබඩ් එකේ සොයාගත නොහැකි අමුද්‍රව්‍ය පහකට වඩා අඩංගු ආහාර වේ. සොසේජස්, ක්‍රිස්ප්ස් (crisps), පේස්ට්‍රි, බිස්කට්, ක්ෂණික සුප් වර්ග, කාබනීකෘත බීම, අයිස්ක්‍රීම් සහ සුපිරි වෙළඳසැල් පාන් වැනි දෑ UPF ලෙස සැලකේ.

සමීක්ෂණවලින් පෙනී යන්නේ, මෙම කාර්මිකව නිෂ්පාදනය කරන ලද ආහාර ලොව පුරා ආහාර වේල්වල වැඩි වෙමින් පවතින අතර, වැඩි සීනි, අනතුරුදායක මේද සහ තන්තු හා ප්‍රෝටීන් හිඟකම නිසා අප ගන්නා ආහාරවල ගුණාත්මකභාවය නරක අතට හැරෙමින් පවතින බවයි. ගෝලීය විශේෂඥයින් 43 දෙනෙකු විසින් සිදු කරන ලද සහ දීර්ඝ කාලීන අධ්‍යයන 104 ක් මත පදනම් වූ මෙම සාක්ෂි සමාලෝචනයෙන් යෝජනා කරන්නේ, මෙම ආහාර සෞඛ්‍ය තත්ව 12 කට වඩා වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බවයි.

සමහර විද්‍යාඥයන් පවසන්නේ, මෙම සමාලෝචනය මගින් UPF සෘජුවම සෞඛ්‍ය හානියක් ඇති කරන බවට සාධනය කළ නොහැකි බවත්, එය පෙන්වීමට වැඩිදුර පර්යේෂණ සහ සායනික පරීක්ෂණ අවශ්‍ය බවත්ය. UPF සෞඛ්‍යයට හානි කරන්නේ කෙසේද යන්න හරියටම පෙන්වන සායනික පරීක්ෂණ නොමැති බව පිළිගත්තද, සෞඛ්‍ය අවදානම්වලින් ලොව පුරා ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ප්‍රමාද නොකළ යුතු බව පවසයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top