ට්‍රම්ප්ගෙන් ඇමරිකානු ගමන් තහනම තවත් රටවල් පහකට අලුත් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුතින් පනවන ලද ගමන් තහනමක් යටතේ තවත් රටවල් පහක වැසියන්ට සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍ර හිමියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබේ.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගනු ලැබූ මෙම තීරණය ජනවාරි 1 වනදා සිට බලාත්මක වන බවයි. විදේශීය රටවල පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන්හි පවතින දුර්වලතා මීට ප්‍රධාන හේතුව ලෙස ට්‍රම්ප් පාලනාධිකාරිය පෙන්වා දෙයි.

මීට පෙර පැවති ලැයිස්තුවට අමතරව බුර්කිනා ෆාසෝ (Burkina Faso), මාලි (Mali), නයිජර් (Niger), දකුණු සුඩානය (South Sudan), සිරියාව (Syria) යන රටවල වැසියන්ට සහ පලස්තීන අධිකාරිය නිකුත් කළ ලේඛන සහිත පුද්ගලයන් සඳහා සම්පූර්ණ ඇතුළුවීමේ තහනමක් පනවා ඇත. මීට අමතරව, මීට පෙර අර්ධ තහනමක් පැවති ලාඕසය සහ සෙයිරා ලියෝන් ද දැන් සම්පූර්ණ තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. නයිජීරියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ ඇතුළු තවත් රටවල් 15 කට අර්ධ වශයෙන් ගමන් සීමා පනවා ඇත.

නිලධාරීන් පෙන්වා දෙන පරිදි මෙම තීරණයට බලපෑ කරුණු වනුයේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පිරිස ඉහළ යාම, විදේශ සිවිල් වාර්තාවල විශ්වාසනීයත්වය අඩු වීම සහ දූෂණය, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, පිටුවහල් කරන ලද පුද්ගලයන් නැවත භාර ගැනීමට අදාළ රටවල් දක්වන අකමැත්ත වේ.

මෙම තහනම ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන්ට (Green Card හිමියන්ට), දැනට වීසා බලපත්‍ර සහිත බොහෝ දෙනෙකුට, රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ ප්‍රධාන ක්‍රීඩා ඉසව් සඳහා පැමිණෙන ක්‍රීඩකයින්ට බල නොපානු ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top