ලොව පුරා අතිශය ජනප්රිය ‘Call of Duty’ වීඩියෝ ක්රීඩා මාලාවේ සම-නිර්මාතෘවරයෙකු මෙන්ම වීඩියෝ ක්රීඩා ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන වින්ස් සැම්පෙලා (Vince Zampella), කැලිෆෝනියාවේ සිදුවූ රිය අනතුරකින් අභාවප්රාප්ත වී ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.
පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස් අධිවේගී මාර්ගයක ගමන් ගත් ෆෙරාරි (Ferrari) රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්රීට් බැම්මක වැදී ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. රථයේ ගමන් ගත් සැම්පෙලා ඇතුළු පුද්ගලයන් දෙදෙනාම මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු විසින් සම-නිර්මාණය කරන ලද Respawn Entertainment හි මව් සමාගම වන Electronic Arts (EA) විසින් මෙම පුවත තහවුරු කරන ලදී.
වින්ස් සැම්පෙලා යනු නූතන වීඩියෝ ක්රීඩා ක්ෂේත්රයේ හැඩගැස්වූ ප්රබලතම චරිතයකි. 2003 වසරේදී Call of Duty ක්රීඩාව නිර්මාණය කිරීමට දායක වූ අතර, අද වන විට එහි පිටපත් මිලියන 500 කට වඩා අලෙවි වී ඇත. ඔහු Apex Legends, Titanfall සහ Medal of Honor වැනි ලොව පුරා ජනප්රිය වූ තවත් ක්රීඩා රැසක් පිටුපස සිටි දැවැන්තයායි. මෑතකදී ඔහු EA සමාගම සමඟ එක්ව Battlefield 6 ක්රීඩාව නිපදවීමට කටයුතු කරමින් සිට ඇත.
ඔහු ක්රීඩකයන්ට දැනෙන අත්දැකීම (Player experience) පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ නිර්මාණකරුවෙකු ලෙස ප්රසිද්ධියට පත්ව සිටියේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.


