ජූනි මාසය වන විට යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් බලපෑම්: සෙලෙන්ස්කි හෙළි කරයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින දරුණු යුද්ධය එළඹෙන ජූනි මාසය වන විට අවසන් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මෙම අරමුණ පෙරදැරිව, ලබන සතියේදී අමෙරිකාවේ මයාමි (Miami) නුවරදී සාකච්ඡා සඳහා දෙපාර්ශවයටම ඇරයුම් කර ඇති බවත්, යුක්රේනය ඒ සඳහා සහභාගී වීමට දැනටමත් එකඟතාව පළ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සාකච්ඡා කණ්ඩායම් දෙකම අමෙරිකාවේදී හමුවන ලෙස වොෂින්ටනය කළ පළමු නිල යෝජනාව මෙයයි. මීට වසරකට පෙර නැවත බලයට පත්වූ දා සිට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගැටුම කඩිනමින් අවසන් කිරීමට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියි. රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර එල්ල කරන පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රුසියාව මෙම මයාමි සාකච්ඡා සඳහා සහභාගී වන බවට මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top