ඉරාන යුද්ධය ඉක්මනින්ම අවසන් වන බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

ඉරානය සමඟ පවතින යුද්ධය සැලසුම් කළ කාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් පවතින බවත්, එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ.

සඳුදා දිනය ආරම්භයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියද, ජනාධිපතිවරයාගේ මෙම සුබවාදී ප්‍රකාශයත් සමඟ එය ඩොලර් 90 දක්වා පහළ බැස ඇත. කෙසේ වෙතත්, මෙම මිල තවමත් යුද සමයට පෙර පැවති මට්ටමට වඩා ඉහළ අගයක පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ජනාධිපති ට්‍රම්ප් යුද්ධය අවසන් වීම පිළිබඳව අදහස් දැක්වුවද, ඒ පිළිබඳව පැහැදිලි විස්තර සැපයීමට ඔහු අපොහොසත් වූ බව විදේශ වාර්තාකරු ඇන්තනි සර්චර් පවසයි. එසේම, ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට උත්සාහ කළහොත් ඊට විසි ගුණයක ප්‍රබලත්වයකින් පහර දෙන බවටද ජනාධිපතිවරයා පසුව තර්ජනය කර තිබේ.

මේ අතර, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දිගින් දිගටම ක්‍රියාත්මක වන්නේ නම්, කලාපයෙන් තෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top