වසර 14කට පසු නාසා හි ‘වෑන් ඇලන්’ පර්යේෂණ යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙයි

වසර 14කට පෙර අභ්‍යවකාශගත කරන ලද, රාත්තල් 1,300ක් (කිලෝග්‍රෑම් 600ක්) බරැති නාසා (NASA) ආයතනයට අයත්වෑන් ඇලන් ප්‍රෝබ්‘ (Van Allen Probe) යානය නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව අමෙරිකානු අභ්‍යවකාශ බලකාය තහවුරු කරයි.

නැගෙනහිර පැසිෆික් කලාපයට ඉහළින් මෙම නැවත ඇතුළුවීම සිදු විය. මෙය මුලින් පුරෝකථනය කළ වේලාවට වඩා පැය 12ක් පමණ ප්‍රමාද වුවද, එය අපේක්ෂිත දෝෂ සීමාවන් තුළ පැවති බව බලධාරීන් පවසයි.

2012 වසරේදී දියත් කරන ලද මෙම යානය වායුගෝලය හරහා ගමන් කිරීමේදී එහි වැඩි කොටසක් දැවී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එහි සමහර කොටස් විනාශ නොවී පෘථිවියට පතිත වීමේ සුළු ඉඩක් පවතී. නාසා ආයතනය සඳහන් කළේ මෙම යානයේ කොටසක් පතිත වීමෙන් පෘථිවියේ සිටින පුද්ගලයෙකුට හානියක් වීමේ සම්භාවිතාව 4,200න් එකක් වැනි ඉතා අවම මට්ටමක පවතින බවයි.

මෙම යානය සහ එහි සහෝදර යානය වනවෑන් ඇලන් ප්‍රෝබ් B’, පෘථිවිය වටා ඇති ස්ථිර විකිරණ පටි දෙක (Radiation Belts) පිළිබඳ පෙර නොවූ විරූ දත්ත රැස් කිරීමේ මෙහෙයුමක නිරත විය.

වසර දෙකක කාලයක් සඳහා සැලසුම් කර තිබූ මෙම මෙහෙයුම වසර හතක් දක්වා දීර්ඝ වූ අතර, 2019 වසරේදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු නිමාවට පත් විය. මෙම වසර කිහිපය තුළ යානය, පෘථිවි චුම්බක ක්ෂේත්‍රය මගින් රඳවාගෙන ඇති අහිතකර කොස්මික් විකිරණ සහ සූර්ය කුණාටුවලින් පෘථිවිය ආරක්ෂා කරන ආකාරය අධ්‍යයනය කිරීම සහ දැඩි සූර්ය ක්‍රියාකාරකම් පවතින කාලවලදී තාවකාලිකව නිර්මාණය වන තෙවන විකිරණ පටියක් පවතින බව ප්‍රථම වරට තහවුරු කිරීම වැනි වැදගත් සොයාගැනීම් රැසක් සිදු කරන ලදී:

මෙම මෙහෙයුමේ අනෙක් යානය වනවෑන් ඇලන් ප්‍රෝබ් B’ 2030 වසරට පෙර පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top