අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආක්ටික් කලාපයට අයත් ග්‍රීන්ලන්ත දූපත (Greenland) ආක්‍රමණය කරනු ඇතැයි යන බිය හේතුවෙන්, එහි ප්‍රධාන ගුවන් පථ පුපුරුවා හැරීමට ඩෙන්මාර්ක සොල්දාදුවන් සූදානමින් සිටි බව එරට ජාතික ගුවන් විදුලිය (DR) වාර්තා කරයි.
ඩෙන්මාර්ක රජයේ සහ හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම වාර්තාව පවසන්නේ, පසුගිය ජනවාරි මාසයේදී ග්‍රීන්ලන්තය වෙත හදිසියේම ඩෙන්මාර්ක භට පිරිස් යවා ඇති බවයි.
ගුවන් පථ විනාශ කිරීමට අමතරව, යම් හෙයකින් සටනක් ඇති වුවහොත් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුධිර තොග පවා එම ප්‍රදේශයට ගෙන ගොස් තිබූ බවද අදාළ වාර්තාවල සඳහන් වේ. යුරෝපීය නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් ‘Financial Times’ පුවත්පත ද මෙම පුවත තහවුරු කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ජනාධිපති ධුර කාලය තුළ ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව වරින් වර ප්‍රකාශ කර ඇත. නමුත් ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අමෙරිකාවට ලබා දීම ඩෙන්මාර්ක රජය සහ ග්‍රීන්ලන්ත නායකයන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.
අමෙරිකාව සහ ඩෙන්මාර්කය යන රටවල් දෙකම නේටෝ (NATO) සංවිධානයේ සාමාජිකයන් වුවද, ග්‍රීන්ලන්තය සම්බන්ධ මෙම අර්බුදය වොෂින්ටනය සහ එහි යුරෝපීය මිත්‍ර රටවල් අතර දැඩි බෙදීමක් ඇති කිරීමට සමත්ව ඇත.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දැක්වීම ඩෙන්මාර්ක ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ. ආරක්ෂක හේතූන් මත මෙම රහසිගත මෙහෙයුම පිළිබඳව දැන සිටියේ ඉතා සීමිත පිරිසක් පමණක් බව හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



