2028 සිට ඔලිම්පික් කාන්තා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණයි: ලිංගිකත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ

2028 වසරේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල කාන්තා අංශයේ ඉසව් සඳහා සහභාගී විය හැක්කේ ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට (Biological Females) පමණක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය යටතේ, ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා “ජීවිතයට එක් වරක් පමණක් කෙරෙන” (Once-in-a-lifetime) විශේෂ ලිංගිකත්ව පරීක්ෂණයක් හඳුන්වා දීමට නියමිතය. මෙමඟින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ පිරිමි වැඩිවිය පැමිණීමේ ලක්ෂණ සහිත (DSD) පුද්ගලයන්ට කාන්තා ඉසව් සඳහා සහභාගී වීම වළක්වනු ඇත.

වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව පවසන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිනී කර්ස්ටි කොවෙන්ට්‍රි (Kirsty Coventry) පවසා ඇත්තේ ඔලිම්පික් උළෙලකදී ජයග්‍රහණය සහ පරාජය තීරණය වන්නේ ඉතා සුළු පරතරයකින් බවත්, ඒ නිසා ජෛව විද්‍යාත්මක පිරිමින් කාන්තා අංශයෙන් තරඟ කිරීම කිසිසේත්ම සාධාරණ නැති බවත්, ඒ වගේම ඇතැම් ක්‍රීඩා වලදී එය අනතුරුදායක විය හැකි බවත්ය.

මෙම සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා SRY ජානය (Sex-determining region Y gene) හඳුනා ගැනීමේ පරීක්ෂණයක් සිදු කෙරේ. Y වර්ණදේහයේ කොටසක් වන මෙම ජානය පිරිමි ලක්ෂණ වර්ධනය වීමට හේතු වේ. ඛේටය, රුධිරය හෝ කම්මුලෙන් ලබාගන්නා සාම්පල මඟින් මෙම පරීක්ෂණය ඉතා සරලව සිදු කළ හැකි බව කමිටුව පවසයි.

මෙම පරීක්ෂණයෙන් අසමත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියෙන් ඉවත් නොකෙරෙන අතර, ඔවුන්ට සුදුසුකම් ලබන වෙනත් කාණ්ඩ (උදාහරණ ලෙස පිරිමි අංශය, මිශ්‍ර අංශය හෝ විවෘත අංශය) යටතේ තරඟ කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top