Elon Musk සතු X සමාජ මාධ්‍ය ජාලයේ පවතින Grok AI මෙවලම භාවිතයෙන් කාන්තාවන්ගේ සහ දැරියන්ගේ රූප අවසරයකින් තොරව අසැබි ලෙස වෙනස් කිරීම (AI Deepfakes) වහාම නතර කරන ලෙස බ්‍රිතාන්‍ය රජය දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය තාක්ෂණ ලේකම් Liz Kendall පවසන්නේ මෙය අතිශය පිළිකුල් සහගත (Absolutely appalling) ක්‍රියාවක් බවයි. කාන්තාවන් සහ දැරියන් මෙලෙස පහත් අයුරින් නිරූපණය වන රූප ව්‍යාප්ත වීමට ඉඩ දිය නොහැකි බව ඇය අවධාරණය කළාය.බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, Grok AI හරහා කාන්තාවන්ගේ ඇඳුම් ඩිජිටල් ලෙස ඉවත් කර (Digitally undress) ඔවුන්ව නිරුවත් හෝ අඩ නිරුවත් ස්වරූපයෙන් පෙන්වන ලෙස පරිශීලකයින් කරන ඉල්ලීම් (Prompts) එම AI මෙවලම විසින් ඉටු කරනු ලබයි. බ්‍රිතාන්‍යයේ සන්නිවේදන නියාමන ආයතනය වන Ofcom, මේ පිළිබඳව Elon Musk ගේ xAI සමාගමෙන් කරුණු විමසා ඇති අතර මේ සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
X සමාගම පවසන්නේ ඔවුන් නීති විරෝධී අන්තර්ගතයන් සහ ළමා ලිංගික අපයෝජන දර්ශන (CSAM) ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවයි. Grok AI භාවිත කරමින් මෙවැනි නීති විරෝධී දේවල් නිර්මාණය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, ඔවුන්ගේ ගිණුම් අත්හිටුවන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



