දකුණු ඉන්දියවට ගං වතුර තර්ජන

දකුණු ඉන්දියවට ගං වතුර තර්ජන

ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවල, විශේෂයෙන්ම තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශයන්හි දැඩි මෝසම් වැසි සහ ගංවතුර හේතුවෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. තෙලන්ගානා ප්‍රාන්තයෙන් මරණ 16ක් වාර්තා වූ අතර අන්ද්‍රා ප්‍රදේශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇත. තෙලන්ගානා ප්‍රාන්තයේ මිලිමීටර් 400 (අඟල් 16) වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් නිවාසවලටද සැලකිය යුතු හානියක් සිදුවී ඇත.

තෙලන්ගානා ප්‍රාන්ත රජය විසින්, ඉන්දියා ෆෙඩරල් රජයෙන් ඉල්ලා ඇත්තේ මෙය “ජාතික විපතක්” (National calamity) ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසය. මේ වන විට පුද්ගලයින් 3800ක් පමණ මුදාගෙන සහන කඳවුරු වෙත යොමු කර ඇත. විපතට පත් ප්‍රදේශවලට උපකාර කිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව ගලවා ගැනීමේ නිලධාරීන් 200 කට අධික සංඛ්‍යාවක් සහ හදිසි ආධාර ටොන් 30 ක් ගුවන් මගින් යවා ඇත.

මෝසම් ගංවතුර සහ අධික වර්ෂාව ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියක් වන නමුත් විශේෂඥයින් විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාස නිසා මෙම තත්වයන් තවදුරටත් නරක අතට හැරෙන බවයි. පසුගිය සතියේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට ද අධික වර්ෂාපතනයක් ලැබුණු අතර දින තුනක් තුළ මරණ 28 ක් වාර්තා විය. ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර, දැඩි ජලගැල්ම හේතුවෙන් එහි වෙසෙන ජනතාව ආරක්ශිත තැන් කරා ඉවත් කර යවා ඇත.

මීට අමතරව අසල්වැසි බංගලිදේශයද අගෝස්තු මාසයේදී මාරාන්තික ගංවතුරකට මුහුණ දුන් අතර අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය අතර 300,000 කට ආසන්න පිරිසක් අවතැන් විය.

උපුටා ගැනීම: සියළු තොරතුරු Al-Jazeera අනුග්‍රහයෙනි

https://www.aljazeera.com/news/2024/9/2/monsoon-floods-kill-dozens-in-india-thousands-in-relief-camps

 

Scroll to Top