ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 12 දෙනෙකු මරුට!

පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි (Islamabad) අධිකරණයක් (court) පිටතදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි (Mohsin Naqvi) පවසා ඇත.

බෝම්බකරු දිස්ත්‍රික් උසාවියට පහර දීමට සැලසුම් කර තිබුණත්, ඇතුළට යාමට නොහැකි වූ බව නක්වි මහතා පවසා ඇත. ප්‍රහාරකයා විනාඩි 15 ක් පමණ රැඳී සිටීමෙන් පසු පොලිස් මෝටර් රථයක් ආසන්නයේදී බෝම්බය පුපුරුවා හැර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. CCTV දර්ශනවල දැක්වෙන්නේ ආරක්ෂක බාධකයක් පිටුපස පිළිස්සුණු වාහනයක නටබුන් සහ ඒ අවට පොලිස් ලණුවක් යොදා ඇති ආකාරයයි. තුවාල ලැබූ 27 දෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතී.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉස්ලාමාබාද් අගනුවරට එල්ල වූයේ වසර තුනකට පෙර වන අතර, එහිදී පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. දේශීය මාධ්‍ය වාර්තා අනුව, පාකිස්තාන තලෙයිබාන් (TTP) සංවිධානයේ කොටසක් වන Jumaat Ul Ahrar නම් කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත. කෙසේ වෙතත්, TTP හි මධ්‍යම නායකත්වය පිපිරීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවට දේශීය මාධ්‍යවේදීන්ට පණිවිඩ යවා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) චෝදනා කර ඇත්තේ, ඉන්දියාවේ ක්‍රියාකාරීව සහාය ලබන අන්තවාදී කණ්ඩායම් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top