එක්සත් රාජධානිය යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් සහ ඩිජිටල් ඇඳිරි නීතියක් අත්හදා බලයි

එක්සත් රාජධානියේ යොවුන් වියේ පසුවන දරුවන් සිය ගණනකගේ නිවෙස් තුළ සමාජ මාධ්‍ය යෙදුම් භාවිතය සීමා කිරීම, රාත්‍රී කාලයේ අවහිර කිරීම සහ භාවිත කාල සීමාවන් පැනවීම (ඩිජිටල් ඇඳිරි නීතිය) සම්බන්ධයෙන් රජය විසින් අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.

මේ සඳහා යෞවනයන් 300 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ අත්දැකීම් සංසන්දනය කිරීම සඳහා කණ්ඩායම් කිහිපයකට බෙදා ඇත. එක් කණ්ඩායමක සමාජ මාධ්‍ය යෙදුම් සම්පූර්ණයෙන්ම අක්‍රිය කරනු ලැබේ. තවත් කණ්ඩායමකට රාත්‍රී කාලයේදී ඒවා භාවිතය අවහිර කෙරෙන අතර, තවත් පිරිසකට භාවිත කාලය දිනකට පැයකට සීමා කෙරේ.

තාක්ෂණ ලේකම් Liz Kendall ප්‍රකාශ කර ඇත්තේ, මෙම පරීක්ෂණ හරහා දරුවන්ගේ අත්දැකීම් මත පදනම්ව ඊළඟ පියවර ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබාගැනීමට රජය අපේක්ෂා කරන බවයි. පරීක්ෂණයට පෙර සහ පසුව දරුවන් සහ දෙමාපියන් සම්මුඛ සාකච්ඡා වලට ලක් කර ඔවුන්ට ඇති වූ බලපෑම තක්සේරු කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ, ඕස්ට්‍රේලියාව අනුගමනය කරමින් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය නීතියෙන් තහනම් කිරීම සම්බන්ධයෙන් රජය පවත්වන උපදේශනයට (consultation) සමගාමීවය. මෙම උපදේශනය මැයි 26 දක්වා ක්‍රියාත්මක වේ.

මෙවැනි තහනමකට ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් ද දේශපාලන සහයෝගය ලැබෙමින් පවතී. කෙසේ වෙතත්, විශේෂඥයන් පෙන්වා දෙන්නේ දරුවන් වෙනත් මාර්ග හරහා මෙම තහනම් මගහැරීමට හෝ අන්තර්ජාලයේ අඳුරු කොනක් වෙත තල්ලු වීමට ඉඩ ඇති බවයි. තවත් පිරිසක් පවසන්නේ තාක්ෂණික සමාගම් තම වේදිකාවන් දරුවන්ට ආරක්ෂිත ලෙස නිර්මාණය කළ යුතු මිස තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top