ලොව ප්‍රමුඛතම ප්‍රවාහන සේවා සැපයුම්කරුවෙකු වන Uber සමාගම, ඇමරිකාව පුරා සිටින කාන්තා රියදුරන්ට සහ මගීන්ට තම ගමන් වාර සඳහා තවත් කාන්තාවකම තෝරාගැනීමේ විශේෂ පහසුකම (Women Rider Preference) හඳුන්වා දී තිබේ.
මෙම නව විශේෂාංගය හරහා කාන්තා මගීන්ට කාන්තා රියදුරෙකු පදවන රථයක් කලින් වෙන් කරවා ගැනීමට හෝ මෘදුකාංගය හරහා සිය කැමැත්ත (Preference) සටහන් කර තැබීමට අවස්ථාව ලැබේ. මෙය කාන්තා රියදුරන්ට මෙන්ම මගීන්ටද වඩාත් සුරක්ෂිත සහ විශ්වාසදායක හැඟීමක් ලබාදෙන බව Uber පවසයි. දැනටමත් බ්‍රසීලය, සෞදි අරාබිය ඇතුළු රටවල් 40 කට වැඩි ප්‍රමාණයක මෙම සේවාව ක්‍රියාත්මක වේ.
මෙම පියවර කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නක් වුවද, එය පිරිමි රියදුරන්ට එරෙහිව සිදුකෙරෙන ලිංගික වෙනස්කම් කිරීමක් (Discrimination) බව පවසමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ රියදුරන් දෙදෙනෙකු නඩු පවරා තිබේ. ඔවුන් තර්ක කරන්නේ මෙමගින් කාන්තා රියදුරන්ට වැඩි මගීන් පිරිසක් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබෙන බවයි. Uber සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හමුවේය. පසුගිය මාසයේදී Uber රියදුරෙකු අතින් දූෂණයට ලක්වූ කාන්තාවකට ඩොලර් මිලියන 8.5 ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණය නියෝග කළේය.
මෙම නව පහසුකම හරහා කාන්තා රියදුරන්ට සහ මගීන්ට තම ගමන් වාරය පිළිබඳව වැඩි පාලනයක් ලබාදීම Uber හි අරමුණයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



